බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විශාලතම ලැයිස්තුගත සමාගම් අතර 5 වෙනි තැනට

    January, 7, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව 5 වැනියට විශාලතම සමාගම බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී පත්ව තිබේ. මෙහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, මෙරට විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ සීමාව අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි. කොමර්ෂල් බැංකුව මෙම ලැයිස්තුවේ 6 වැනි තැනට පත්ව තිබේ.

    අද (07) දින ගනුදෙනු අවසානයේ දී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටසක මිල රු. 6.80 ක් ලෙසින් සටහන් විය. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මුළු කොටස් ප්‍රමාණය 14,369,717,460 කි. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 97.71 ලෙසින් වාර්තා විය. ඒ පිළිවෙලින් ලංකා දුම්කොළ සමාගම (රු. බිලියන 212.23), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. බිලියන 195.80), ඩයලොග් ආසියාටා (රු. බිලියන 102.98) සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් සිලෝන් යන සමාගම්වලට පමණක් පසුපසින් සිටිමිනි.

    මේ අතර අද (07) දිනය තුළ පමණක් ගනුදෙනු වූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රමාණය මිලියන 616 ක්වූ අතර රු. බිලියන 4 ක් ඉක්මවූ පිරිවැටුමක් ඒ හරහා වාර්තා විය.