බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් මිල සීඝ්‍රයෙන් වැඩි වුණේ කෙසේද?

    January, 8, 2021

    පසුගිය දින කිහිපය තුළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටස් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරීත්වය පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු හා මෙහෙයුම් වෙළෙඳපොළ ආවේක්ෂණ සහ ආයතනික කටයුතු අංශයේ ප්‍රධානී විසින් විමසීමක් කර තිබේ.

    කෙසේ වෙතත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී වෙනුවෙන් එහි ලේකම් සමාගම වන LOLC කෝපරේට් සර්විසස් (පුද්) සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා සිටින්නේ සමාගම සම්බන්ධයෙන් අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී පුවතක් නොමැති බවයි.

    අද දින ද ඇතුළුව පසුගිය ගනුදෙනු දින 6 තුළ දී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි කොටසක මිල රු. 4.00 සිට රු. 6.50 දක්වා 62.5% ක ඉහළ යාමක් වාර්තා කර තිබේ. එමෙන්ම අද දින සමාගමේ කොටස් මිලියන 442 ක් ගනුදෙනු වී ඇති අතර ඊයේ (07) දිනයේ දී කොටස් මිලියන 616 ක් ගනුදෙනු වී තිබුණි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි නිකුත් කළ කොටස් ප්‍රමාණය, කොටස් බිලියන 14.36 ක් වන අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව මේ වන විට ලැයිස්තුගත සමාගම් අතරින් පස්වෙනි තැනට විශාලතම සමාගම වන්නේ මෙයයි.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන  වෙත මෙම විමසීම සම්බන්ධයෙන් යවා ඇති ලිපිය පහතින් දැක්වේ.