බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙසින් සැලකෙන ‘ද බෑන්කර්’ වසරේ බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගනී

    December, 12, 2019

    මෙම සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගත් 11 වන අවස්ථාව මෙයයි

    ලෝකයේ දීර්ඝතම කාලයක් ප‍්‍රකාශනයට පත් කරන ලද අන්තර්ජාතික බැංකුකරණ සඟරාව වන එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් 2019 වසරේ ශ‍්‍රී ලංකාවේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ.

    ජාත්‍යන්තර බැංකු ක්ෂේත‍්‍රයේ ‘ඔස්කාර්’ සම්මානය ලෙස සැලකෙන මෙම සම්මානය ලබාදෙන්නේ වර්ධනය සහ කාර්යසාධනය, උපායමාර්ගික වැඩසටහන්, තාක්ෂණ නවෝත්පාදනය, නව සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සහ සේවා, අනිකුත් කැපී පෙනෙන ජයග‍්‍රහණ වාර්තා කරන මූල්‍ය ආයතන වලටයි.

    කොමර්ෂල් බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 11 වන අවස්ථාව මෙය වන අතර ඇමරිකාව පදනම් කරගත් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව මගින්ද කොමර්ෂල් බැංකුව 2019 ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස තෝරා පත්කරගෙන ඇත.

    ‘ජයග‍්‍රාහීව වසර අවසන් කිරීමට මෙම සම්මානය ඉතාමත් උසස් දායකත්වයක් දක්වනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘බැංකු සඳහා අභියෝගාත්මක පරිසරයක් තිබෙන බව රහසක් නෙවෙයි. බාධා සහිත පරිසරයකදී කාර්ය සාධනය තරම් හොඳ මිනුම් ලකුණක් තවත් නැතිබව කිව යුතුයි. මේ නිසා, මෙම සම්මානය අපට ඉතාමත් වටිනවා. ඒ වගේම, ඉදිරියේදී හොඳ කාර්ය සාධනයක් පෙන්වීමට කොමර්ෂල් බැංකු කණ්ඩායමට ලැබුණු හොඳ දිරියක් ලෙසත් මෙය සඳහන් කළ හැකියි. වසර ගණනාවක් පුරා අපගේ වටිනා ගනුදෙනු කරුවන් සහ කොටස්කරුවන් විසින් අපට දක්වන සහයෝගයට හදපිරි ප‍්‍රණාමය අප විසින් පුද කරනවා.’

    කොමර්ෂල් බැංකුව 2018 දෙසැම්බර් 31 වනදා අවසන් වනවිට රුපියල් ටි‍්‍රලියන 1.3 ක සමස්ත වත්කම් ප‍්‍රමාණයකට හිමිකම් කියන අතර රුපියල් බිලියන 17.5 ක ශුද්ධ ලාභයක් සහ රුපියල් බිලියන 107.111 ක පළමු පෙළ ප‍්‍රාග්ධනයක් මෙම කාලයේදී වාර්තා කර ඇත. මේ අතර, බැංකුව විසින් 2018 වසරේදී රුපියල් බිලියන 31.6 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය බදු සහ මූල්‍ය සේවා වලට පෙර 12.8% ක වර්ධනයක් විය.

    එසේම, 2018 වසරේදී බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ශුද්ධ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 123.7 කින් හෙවත් 16.8% කින් වර්ධනය වී තිබෙන අතර වසර අවසන් වනවිට එය සමස්තයක් ලෙස රුපියල් බිලියන 861.1 ක් විය. මෙය මාසයකදී සාමාන්‍යයෙන් රුපියල් බිලියන 10 කට වැඩි වර්ධනයකි. වසරකදී රුපියල් බිලියන 100 කට වඩා සිය ණය පොත කොමර්ෂල් බැංකුව පිට පිටම වර්ධනය කරගත් සිව්වන වසර ලෙසින් 2018 වසර කැපී පෙනේ.

    මේ අතර, බැංකුවේ තැන්පතු කළඹ 2018 දෙසැම්බර් 31 වනදා වනවිට 15.6% කින් හෙවත් රුපියල් බිලියන 132.9 කින් රුපියල් බිලියන 983.0 ක් දක්වා වර්ධනය විය. මෙය මාසිකව සාමාන්‍යයෙන් රුපියල් බිලියන 11 ක වර්ධනයකි. වසරකදී බැංකුවේ තැන්පතු රුපියල් බිලියන 100 කට වැඩි ප‍්‍රමාණයකින් පිට පිටම වර්ධනය වූ තෙවන වසර ලෙස 2018 වසර සැලකේ.

    කොමර්ෂල් බැංකුව 2018 වසරේ සිය ආදායමෙන් 45% කට ආසන්න ප‍්‍රමාණයක් හෙවත් රුපියල් බිලියන 14.3 ක මුදලක් රජයට බදු (ආදායම් බදු, රුපියල් මිලියන 650 ක ණය ආපසු ගෙවීමේ බද්ද සහ වගා රක්ෂණ බද්ද ඇතුළුව මූල්‍ය සේවා මත බදු) වශයෙන් ගෙවා ඇත.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම නව වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට බැංකු ශාඛා 267 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 856 ක් පවත්වාගෙන යයි. 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට බැංකුව සමත්ව තිබෙන අතර මේ වසරේදී මේ දක්වා සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගෙන තිබේ. එසේම, 2019 වසරේදී මෙරට ගෞරවණීයම සමාගම් 10 අතරට තේරී පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්විය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

     

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා (මැද) ලන්ඩනයේදී බැංකුව වෙත පිරිනැමූ වසරේ බැංකුවසම්මානය සමග.