බැංකු නිවාඩු නිසා නැව්වලින් ඉන්ධන ගොඩබෑම ප්‍රමාද වෙලා – ඇමති කියයි

    May, 2, 2022

    අද (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් බැංකු සමඟ ගනුදෙනු කිරීමේ අපහසුතාවයක් මතු වී තිබෙන බවත්, මේ හේතුවෙන් අද (02) දිනයේ දී ගොඩබෑමට නියමිතව තිබූ පෙට්‍රල් නෞකාවකට හා බොරතෙල් නෞකාවකට ගෙවීම් ප්‍රමාද වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අද (02) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    ඔටෝ ඩීසල් සහ 92 පෙට්‍රල් ඉතාමත්ම බහුලව, මේ ඉන්ධන පිරවුම්හල්වලට බෙදාහැරීමේ ක්‍රියාවලිය කළ යුතු නිසා ඒ සඳහා අපි ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ වගේම 95 වර්ගයේ පෙට්‍රල් අපිට සීමිත තොග ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ වන විටත් අපේ මුහුදු සීමාවට ඔබ්බෙන්, අපේ වරාය ආසන්නයේ විශේෂයෙන්ම 92 සහ 95 පෙට්‍රල් නෞකාවකුත්, ඒ වගේම බොරතෙල් නෞකාවකුත් මේ වන විට නැංගුරම්ලා සිටිනවා.

    අපි අද දවසේ තමයි ඒ නෞකා දෙකම ගොඩබෑමේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙලා හිටියේ. නමුත් පසුගිය සිකුරාදා, අද දවස රජයේ නිවාඩු දවසක් ලෙස නම් කිරීම නිසා අපිට බැංකු සමඟ ගනුදෙනු කිරීමේ අපහසුතාවයක් ඇතිවෙලා තිබෙනවා.

    ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පළවෙනි වැඩකරන දවසේ, අනිද්දා දවසේ මේ පෙට්‍රල් තොගය සහ බොරතෙල් තොගය අපේ තොග සංකීරණ වෙත ලබා ගැනීමේ කටයුතු සිදුකිරීම සඳහා. මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය සහ බැංකු සමඟ සාකච්ඡා කරලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබෙනවා.