බැංකු නොවන මූල්‍ය අංශය විධිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය සංශෝධන කෙරෙහි අවධානය යොමු කළ යුතුයි

    September, 9, 2020

    සංජීව බණ්ඩාරනායක විසිනි

    බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ඉකුත් වසර ගණනාව පුරා, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු සුභවාදී දායකත්වයක් එක් කර තිබේ. එහෙත් අවාසනාවට එම ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව දක්වන්නේ යහපත් ආකල්පයක් නොවේ. බැංකු නොවන මූල්‍ය ආයතන කියූ සැණින් ජනතාවට සිහිපත් වන්නේ‍, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් නොවූ ලියාපදිංචි නොවන මූල්‍ය ආයතන විසින් සිදු කරනු ලබන ඇතැම් සදාචාර විරෝධී ක්‍රියාවන් වීම ඊට හේතුවයි.

    එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු අධීක්ෂණයට යටත්, බලපත්‍රලාභී මූල්‍ය ආයතන ක්ෂේත්‍රය මගින් මෙරට අඩු වරප්‍රසාද ලබන පිරිස මූල්‍ය වශයෙන් ශක්තිමත් කරලීම පිණිස ආකර්ෂණීය මෙන්ම වැඩිපුර කතා බහට ලක් නොවූ ක්‍රියාමාර්ග ගණනාවකින් දායක වී ඇති අතර, අද වන විට ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන් කිරීම සඳහා මූල්‍ය සහය පිරිනමමින් ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් මූල්‍යමය අතින් බල ගැන්වීමටද එම අංශය කටයුතු කර තිබේ. ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනකුට ව්‍යවසායකයින් වශයෙන් බිහි වීමට අවශ්‍ය පදනම සපයා ඇත්තේ, මෙම බැංකු නොවන මූල්‍ය අංශය වන අතර මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ එම අංශය වැදගත් වන්නේද එබැවිනි. බැංකු නොවන මෙම මූල්‍ය අංශය කොටස් දෙකකින් සමන්විත වන අතර, මහ බැංකුවේ නියාමනයන්ට යටත් හා යටත් නොවන සමාගම් වශයෙන් පවතී. එයින් නියාමනයන්ට යටත් නොවන මූල්‍ය ආයතනයන්ට අදාළව ඉකුත් කාලය තුළ බොහෝ ගැටලු මතු විය. ඒ හේතුවෙන් බැංකු නොවන මූල්‍ය ආයතන අංශය වඩාත් ශක්තිමත් කිරීම සඳහා සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාවය මතුව තිබේ.

    දැනට සිදු කළ යුතු සංශෝධන අතර, පාරිභෝගික ණය පනතෙහි සංශෝධන සිදු කිරීම ඉතා වැදගත් වෙයි. පාරිභෝගික ණය පනත මගින් දැනටමත් නියාමනය කරන මූල්‍ය සමාගම්වලට සේම, නියාමනය නොකරන ලද මූල්‍ය සමාගම්වලටද මුල්‍ය ණය සේවා සිදු කිරීමට ඉඩ සලසා තිබේ. එම තත්ත්වය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ගැටලු රාශියක් උද්ගත වූ අතර, මූල්‍ය ණය සහ ක්ෂුද්‍ර මූල්‍ය පනත බලාත්මක කිරීම සහ යෝජිත පනත යටතේ ලියාපදිංචි නොවී ණය ලබා දීමේ කටයුතුවල නියැලීම නීති විරෝධී බවට පත් කරමින් අවශ්‍ය රෙගුලාසි සංශෝධනය කිරීම දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුවලට ඇති අවසාන විසඳුම වී තිබේ.

    මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන පිරමිඩය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සහ ක්ෂුද්‍ර ව්‍යාපාර ආදියෙහි  නිරත පහළම මට්ටමේ පිරිසට විශේෂයෙන් පහසුකම් සපයයි. ඒ හේතුවෙන් සංශෝධන සිදු කිරීමේදී මූලික වශයෙන් දැඩි රෙගුලාසි මත විශ්වාසය නොතබා ගිණුම්කරණ නීති, නෛතික රාමුව සහ මහ බැංකු රෙගුලාසි එකිනෙක හා සමපාත වීම වැදගත්ය. ඉන් අදහස් වන්නේ එම රෙගුලාසි පාරිභෝගිකයින් හා මූල්‍ය සමාගම් යන දෙපාර්ශවයටම අපක්ෂපාතී විය යුතුවාක් මෙන්ම, දෙපාර්ශවය හමුවේ ඇති අවදානම අවම කිරීම කෙරෙහි  අවධානය යොමු කළ යුතු බවයි.

    රට තුළ ක්‍රියාත්මක වන බැංකු නොවන මූල්‍ය අංශය විශාල, මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ මූල්‍ය ආයතනවලින්  සමන්විත වන අතර ඒ සියල්ලම අවසානයේදී රටේ ආර්ථිකයට දායක වේ. වර්තමානයේ සිදු වන්නේ, අවධානය යොමු කළ යුතු මධ්‍යම හා කුඩා පරිමාණ මූල්‍ය ආයතනවලට වඩා විශාල මූල්‍ය සමාගම් වෙත වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරිමයි. එබැවින් සංශෝධනයන් සිදු කළ යුත්තේ,‍ ප්‍රමාණය හා ස්ථානය නොසලකා සියලු මූල්‍ය සමාගම්වලට එකසේ සමෘද්ධිමත් විය හැකි වාසිදායක පරිසරයක් නිර්මාණය කිරිම සඳහාය. ඒ අනුව බැංකු නොවන මූල්‍ය අංශයේ අත්‍යවශ්‍ය සංශෝධන සිදු කිරීම දිගු කාලීනව රටේ ආර්ථික පුනර්ජීවනයට ද හේතුවක් වේ.

    පාරිභෝගිකයින් හට නිලධාරියකු මාර්ගයෙන් ස්වකීය ගැටලු නිරාකරණය කර ගත හැකි දුක්ගැනවිලි හැසිරවීමේ ක්‍රියාවලියක් සෑම මූල්‍ය සමාගමක් සතුවම පාහේ පවතී. මෙය විධිමත්ව සිදුවන ක්‍රියාවලියක් වන අතර එමගින් ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ගැටලු විමර්ශනය කිරීමට මූල්‍ය සමාගම් බැඳී සිටී. එම ගැටලු සම්බන්ධයෙන් මූල්‍ය සමාගම් නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන්නේ නම් පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකා  මහ බැංකුව වෙත පැමිණිලි කළ හැකිය. මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් වන අතර, එම ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යන්නේ නම්, මූල්‍ය ආයතන සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ බලාපොරොත්තු කඩ වීම සම්පූර්ණයෙන්ම වැළකේ.

    තවත් යෝජනාවක් වන්නේ ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි සහ ආරවුල් විසඳීම සඳහා පවතින මූල්‍ය ඔම්බුඩ්ස්මන් සේවාව ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීමයි. මෙම සේවාව දැනට කොළඹට පමණක් සීමා වී පවතින බැවින් පිටස්තර ප්‍රදේශවල සිටින ගනුදෙනුකරුවන්ට එම සේවාව ලබා ගැනීමේ හැකියාවක් නැත. එබැවින් කොළඹ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල මූල්‍ය ආයතනවලටද ඔම්බුඩ්ස්මන්වරුන් පත් කර එම සේවාව ව්‍යාප්ත කිරීම මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට අතිශයින් වැදගත් වන කාරණාවක් වේ. මූල්‍ය ඔම්බුඩ්ස්මන් යනු බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ විශිෂ්ටතම වෘත්තීය අත්දැකීම්වලින් පිරිපුන් ඉහළ පිළිගැනීමක් ඇති තනතුරකි. ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හුවමාරු කොමිෂන් සභාව, වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය, නීතිඥ සංගමය, වෘත්තීය සංගම් සංවිධානය හා මූල්‍ය ආයතන නියෝජිතවරයකු මගින් ඔහු තෝරා පත් කර ගනු ලැබේ.

    නියාමනය නොකරන ලද මූල්‍ය සමාගමකින් මූල්‍ය සේවාවක් ලබා ගන්නා ගනුදෙනුකරුවෙකු මුහුණ දෙන ගැටලුවක් නම්, එම ගනුදෙනුකරුට මූල්‍ය සමාගම කෙරෙහි බලපෑම් කළ නොහැකි වීමයි. එබැවින් නියාමනය සිදුවන මුල්‍ය පරිසරයක වැදගත්කම යළිත් වරක් පෙරටවිත් තිබෙන අතර, ලියාපදිංචි මූල්‍ය ආයතනවල සේවාව ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. සේවාව ලබා ගන්නා මූල්‍ය ආයතනය නියාමනයට යටත් මූල්‍ය ආයතනයක් නම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමෙන් පාරිභෝගික ගැටලු විසඳාලීමට වගබලා ගැනේ. එබැවින් ඉහත සංශෝධන මගින් බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සිදු වන අතර පාරිභෝගිකයින් හට නියාමනයට යටත් ආරක්ෂිත මූල්‍ය පරිසරයක් තුළ විශ්වාසදායී ලෙස මූල්‍ය ගනුදෙනු සිදු කර ගැනීමට අවස්ථාව සැලසේ.

    (මෙම ලිපියෙහි රචකයා මූල්‍ය ක්ෂේත්‍රයේ 28 වසරක පළපුරුද්දක් සහිත, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් පී. එල්. සී සමාගමේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ය.)

    ඡායාරූපය - බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයේ සාමාජික සංජීව බණ්ඩාරනායක