බැංකු පොලිය අඩු නොකළොත් නීතිමය පියවර ගත හැකියි -මහ බැංකු අධිපති -Video

    July, 17, 2014

    Exclusive- මහ බැංකුවේ පොලී අනුපාත වලට ගැලපෙන ලෙස වාණිජ බැංකු සිය පොලී අනුපාත තවදුරටත් අඩු නොකරන්නේ නම් එයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව මහ බැංකුවට තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසුවේ වාණිජ බැංකු වලට පොලී අනුපාත තවදුරටත් අඩුකළ හැකියැයි මහ බැංකුව විසින් සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය කරගෙන තිබෙන බවයි.

    මෙවැනි තත්ත්වයක් තුළ පොලී අනුපාත අඩුකරන ලෙස වාණිජ බැංකු වලින් දෙවරක්ම ඉල්ලා සිටි බවත් සමහර බැංකු එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මේ වනවිටත් පොලී අනුපාත අඩුකර තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

    මේ ආකාරයෙන් මහ බැංකු තීරණයට ප්‍රතිචාර නොදක්වමින් පොලී අඩු නොකරන වාණිජ බැංකු වලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව මහ බැංකුවට තිබෙන බවත් එවැන්නක් සිදු නොවේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.

    බැංකු විසින් තැන්පතු පොලිය සහ ණයදීමේ පොලිය අතර යම් තුලනයක් ඇතිකර ගත යුතු නිසා පොලිය අඩුකළ හැක්කේ යම් සීමාවක් දක්වා පමණක් බවද හෙතෙම අවධාරණය කළේය.

    ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ බැංකු පොලී අන්තරය වැඩි රටක් ලෙස ලංකාව කැපී පෙනෙන බවයි. තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය සහ ණය සඳහා අයකරන පොලිය අතර වෙනස පොලී අන්තරය ලෙසින් සැලකෙන අතර හොංකොං හි පොලී අන්තරය සියයට 1.7 ක් පමණ වනවිට ලංකාවේ එය සියයට 4.3 ක් තරම් ඉහළ අගයක පවතී.

    වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ ජූලි මාසයේදීත් සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තබා ගැනීමට මුදල් මණ්ඩලය පසුගියදා තීරණය කළ අතර වාණිජ බැංකු වලට අවධාරණය කළේ ණය ලබාදෙන පොලී අනුපාත තවදුරටත් පහත දමන ලෙසයි.