බැංකු පොලිය කොයිබටද ?

    March, 8, 2014

    රටක ආර්ථික ක්‍රියාකාරීත්වයට බැංකු පොලිය ඉතාමත් වැදගත් සාධකයකි. මන්දයත් පොලී අනුපාත අඩුවන විට බැංකු වලින් වැඩිපුර ණය අරගන්නා පුද්ගලික අංශය වැඩිපුර ආර්ථික කටයුතු සිදු කිරීමත් පොලී අනුපාතය වැඩිවන විට ලබාගන්නා ණය ප්‍රමාණය අඩුකර ආර්ථික කටයුතු අඩු කිරීමත් නිසාය.

    බැලූ බැල්මට ණයක් ගැනීම හිස් දෙයක් සේ පෙනුණත් පාරිභෝජන අපේක්ෂාවන්ගෙන් තොරව ආයෝජන සඳහා ණය ලබාගැනීම ආර්ථික වර්ධනය සඳහා ඉවහල්වන වැදගත් සාධකයකි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා තිබෙන්නේ ඉදිරි මාස තුනත් හයත් අතර කාලයේදී වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත වෙනස් නොකර තබා ගන්නා බවයි.

    මෙය පුද්ගලික අංශයට මෙන්ම සාමාන්‍ය මහජනතාවට වැදගත් ප්‍රවෘත්තියකි. එනම් මෙයින් ඔවුන්ට නිගමනය කළ හැක්කේ මෙම කාල සීමාවේ වාණිජ බැංකුවල පොලී අනුපාත වෙනස් නොවන බවයි. සිය ව්‍යාපාරික අපේක්ෂා වෙනුවෙන් මෙන්ම නිවාසයක් තනා ගැනීම වෙනුවෙන් බැංකුවකින් ණය මුදලක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙකුට මේ තුළින් යම් සැලසුමක් හදාගැනීමට හැකියාව ලැබේ.

    මහ බැංකුවේ අධිපතිවරයා පවසා තිබෙන්නේ දිගින් දිගටම උද්ධමනය අඩුවීම නිසා මේ ආකාරයෙන් බැංකු පොලිය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

    උද්ධමනය අඩුවන විට පොලිය රැකගත හැක්කේ ඇයි ?

    උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාමයි. සරලව කිව්වොත් බඩු මිල වැඩිවීමයි. පොලිය අඩුවන විට වැඩිපුර ණය ගන්නා ජනතාව එම මුදල් වැඩිපුර වියදම් කිරීම නිසා මුදල් සැපයුම වැඩිවේ. එවිට වෙළෙඳ පොළේ තිබෙන භාණ්ඩ හා සේවා සඳහා තරග කරන මුදල් ප්‍රමාණය වැඩිවී භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නගී.

    මේ නිසා, බැංකු විසින් අඩු  පොලියට සැමදා ණය නොදෙන අතර උද්ධමනය වැඩිවන විට යළිත් පොලී අනුපාත වැඩිවේ.

     තාර්කික මිනිසා

    මේ නිසා, තාර්කිකව කටයුතු කිරීම යනු පොලිය අඩු සමයේදී ආර්ථික කටයුතු සඳහා ණය ගන්නා ලෙස ඒවා සැලසුම් කිරීමයි. නොමැති නම් සිදුවන්නේ වැඩි පොලියට ලබාගන්නා ණය ගෙවීමට හරකෙකු ලෙස මුළු ජීවිත කාලයම වෙහෙසෙමින් බැංකුවල මඩි තර කිරීමටයි.

    ලංකාවේ බැංකු විසින් ජනතාවගේ තැන්පතු වලට අඩු පොලියක් ගෙවමින් වැඩි පොලියට ණය ලබාදෙමින්අසාධාරණ පොලී ලාභයක් උපයාගන්නා බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් බොහෝ චෝදනා ඉදිරිපත් කර තිබේ. හොංකොං වැනි රටක බැංකු විසින් තබාගන්නා ඉතාමත් සුළු පොලී ලාභය සමග සැසඳීමේදී එම චෝදනාවේ සත්‍යතාවයක් තිබෙන බවද පෙනේ