බැංකු, මූල්‍ය ආයතන ශක්තිමත් කිරීමේ වගකීම කබ්රාල් ට. බැඳුම්කර හා කොටස් වෙළෙඳපළ ආකර්ෂණීය කරවීමත් පැවරෙයි

    August, 12, 2020

    නව රජයේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

    මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්‘ ඇති කිරීම සඳහා අදාළ නීති සහ අණපනත්වලට අනුකූලව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම හා ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන් හි විෂයයන් හා කාර්යයන් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම මෙම රාජ්‍ය අමාත්‍යාංශය යටතට වැටෙනු ඇත.

    මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයට පැවරෙන සුවිශේෂී ප්‍රමුඛතා පහත පරිදි වේ.

    1. ඉතුරුම් හා ආයෝජන දිරි ගැන්වෙන පරිදි බැංකු, මූල්‍ය ආයතන ශක්තිමත් කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම.
    2. බිඳවැටී ඇති මූල්‍ය ආයතන ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම.
    3. කෘෂිකර්මය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක සහ අපනයන අංශ දියුණු කිරීම සඳහා ජාතික සංවර්ධන, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ වැඩසටහන් සම්බන්ධීකරණය හා පුළුල් කිරීම.
    4. බැඳුම්කර හා කොටස් වෙළෙඳපළ ආකර්ෂණීය කරවීම.
    5. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙළෙඳපළ ප්‍රතිසංස්කරණ හා නියාමන කටයුතු ශක්තිමත් කිරීම.
    6. අන්තර්ජාතික ව්‍යාපාර ප්‍රමුඛයන් (International Business Giants) ගේ ව්‍යාපාරික ආයතනවල ප්‍රධාන කාර්යාල කොළඹ සහ වරාය නගරය ආශ්‍රිතව ස්ථාපනය කිරීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම.
    7. විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව සෞභාග්‍යයේ දැක්ම නව ආර්ථික සැලැස්ම ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර ප්‍රචාරණ වැඩපිළිවෙල දියත් කිරීම.
    8. මහා පරිමාණ දේශීය ආයෝජකයින්ට අධිතාක්ෂණික නිෂ්පාදන (High Technology Products) ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම.
    9. දේශීය ව්‍යාපාරිකයන්ට තරගකාරීව නිසි ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රවලට විදේශ ආයෝජන ප්‍රවේශ නියාමනය හා දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කොට ඔවුන්ව සවිබල ගැන්වීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    10. රාජ්‍ය ව්‍යාපාර ආර්ථික හා සමාජයීය වශයෙන් ජාතික ආර්ථිකයේ කරනු ලබන දායකත්වය ශක්තිමත් කිරීම සඳහා අවහ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ඒවායේ මූල්‍ය ශක්තිය වැඩිකිරීම.