බැඳුම්කර ගනුදෙනුවේ කෝප් වාර්තාවට එරෙහිව එ.ජා.ප.ය අවි අමෝරයි

    July, 7, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව පිළිබඳව කෝප් අනුකමිටුවකට වාර්තාවක් නිකුත් කිරීමට නොහැකි බවත් ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානීත්වයෙන් අදාළ වාර්තාව නිකුත් කළේ හදිසියෙන් බවටත් එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

    සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂයේ සුජීව සේනසිංහ මහතා, රෝසි සේනානායක මහත්මිය සහ ඉරාන් වික්‍රමරත්න මහතා මෙම කෝප් වාර්තාවට එරෙහිවත් එය නිකුත් කළ ආකාරය විවේචනය කරමිනුත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අදහස් දැක්වීය.

    ඔවුන් පැවසුවේ මෙම වාර්තාව වෙනත් පාර්ශවයක වුවමනාව වෙනුවෙන් සකස් කර තිබෙන්නක් බවයි.

    මේ නිසා, මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා ක්‍රියාකර තිබෙන ආකාරයට එරෙහිව ඔහුට විරුද්ධව තමා ඉදිරියේදී නඩු පවරන බව සුජීව සේනසිංහ මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආසන්න අවස්ථාවක මෙම වාර්තාව හදිසියේ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂයේ කෝප් කමිටු සාමාජිකයින්ගේ විරුද්ධත්වය එල්ල වෙමින් තිබියදී බව ඔවුන් මෙහිදී සඳහන් කළේය.

    මෙහිදී, අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ මහ බැංකුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවෙන් මධ්‍ය කියන ආකාරයේ දැවැන්ත පාඩුවක් සිදුව නොමැති බවයි.

    සියයට 1.3 ක පමණ පොලී වැඩි වීමක් රුපියල් බිලියන 09 ක් සඳහා තිබුණත් එය ගණන් බැලිය යුත්තේ අවුරුදු 30 ක් වෙනුවෙන් බව හෙතෙම මෙහිදී සඳහන් කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවට සහ එහි අධිපතිවරයාට චෝදනා එල්ල වූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් නිකුත් කර තිබෙන පිටු 447 කින් යුතු සවිස්තර වාර්තාව අධ්‍යනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගකීමක් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

    ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ මෙම වාර්තාව සකස් කිරීමට මාසයක පමණ කාලයක් ගතවූ බවත් මෙම ගනුදෙනුවට අදාළ සියළු තොරතුරු මෙහි ඇතුළත් වන නිසා ඉදිරි පාර්ලිමේන්තුව මෙම වාර්තාවට අනුව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

    “විධායකය භාරව සිටින ජනාධිපතිවරයාට අයිතියක් තියනවා, වගකීමක් තියනවා, එතුමට බලයක් තිබෙනවා නම් වාර්තාවක් ගෙනල්ල බලන්න. පරමාධිපත්‍ය තිබෙන්නෙ දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අත පමණයි. එහෙම බලයක් තිබෙනවා නම් කාගෙන්වත් අහන්න දෙයක් නෑ. මේ වාර්තාව ගෙනත් බැලුවහම නිගමනයට බහින්න පුළුවන්.“

    යනුවෙන් ඩිව් ගුණසේකර මහතා එහිදී සඳහන් කළේය.

    අනපේක්ෂිත ලෙස හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවීම නිසා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අහිමිවී ගිය බවත් තවත් සුමානයක් පමණ තිබුණා නම් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණු බවත් ගුණසේකර මහතා එහිදී කීය.

    මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ ත්‍රි පුද්ගල කමිටුව විසින් මාස තුනක් ගතකර නිකුත් කර තිබුණේ පිටු තුනක වාර්තාවක් බවද හෙතෙම එහිදී චෝදනා කළේය.

    බැඳුම්කර නැතිව ණය ගැනීමට හොඳ විකල්ප තිබුණා

    බැඳුම්කර නිකුත් කිරීමට අමතරව ණය ලබාගැනීමට විකල්ප ක්‍රම තිබුණු බවත් ඒවා භාවිතා කළා නම් මෙයට වඩා අඩු පොලියට රජයට ණය ලබා ගැනීමට තිබුණු බවත් ගුණසේකර මහතා එහිදී අවධාරණය කළේය.