බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් ඉහළ යද්දී ඉතිරිකිරීමේ බලාපොරොත්තු පහළ බසී

    March, 29, 2017

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 ජනවාරි මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ජනවාරි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 ජනවාරි මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව වර්ධනය වී තිබෙන බවයි. ජනතාවගේ ආර්ථික අපේක්ෂාවන් පසුගිය මාස කිහිපය තුළදී දැඩිව වෙනස් වන තත්ත්වයකදී වුවත් 2016 දෙසැම්බර් මාසයේදීත් ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව ස්ථාවර මට්ටමක තිබුණි.

    මෙම අපේක්ෂාව පසුගිය නොවැම්බර් මාසයේදී 12% ක මට්ටමක් දක්වා ඉහළ ගිය අතර 2016 දෙසැම්බර් මාසය වනවිටද එය විශාල වෙනසකට බඳුන් නොවී ඒ ආකාරයෙන්ම තිබෙනු නිරීක්ෂණය කළ හැකිය. කෙසේවෙතත්, මෙය 2017 ජනවාරි මාසය වනවිට 14% කට ආසන්න අගයකට වර්ධනය වී තිබෙනු දැකගත හැකිය.

    රජය විසින් හම්බන්තොට වරාය වෙනුවෙන් චීනය සමග ඇරඹීමට නියමිත ව්‍යාපෘතිය තුළින් නව කර්මාන්තශාලා 2400 ක් පමණ අළුතින් ඇතිවන බව රජය සඳහන් කර තිබෙන අතර බාධා මාධ්‍යයේ වුවද එම වැඩසටහන ඉදිරියට ගමන් කරන බව පෙනී යයි. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රසාදය පලකළ බව ජනවාරි මාසයේදී වාර්තා විය. කෙසේවෙතත්, 2017 ජනවාරි මාසයේදී බ්ලූම්බර්ග් වාර්තාවක් මගින් අනාවරණය කර තිබුණේ ශ්‍රී ලංකාව ආයෝජනය සම්බන්ධයෙන් අවධානම් රාජ්‍ය කාණ්ඩයේ තිබෙන රටක් බවයි. මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව 2017 මුල් දින 10 තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 0.1% කින් අවප්‍රමාණය වී තිබේ.

    මේ අතර, ජනවාරි 11 වනදා යුරෝපා සංගමය විසින් නිළ වශයෙන් නිවේදනය කළේ ජී.එස්.පී. තීරුබදු සහනය ලංකාවට යළිත් වරක් ලබාදීමට කටයුතු කරන බවයි. මෙම සහනය 2017 මැයි මාසය පමණ විට ලැබෙනු ඇතැයි රජය විශ්වාසය පළ කළේය.

    2016 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනයේ එතරම් වෙනසක් සිදු නොවූ අතර 2016 නොවැම්බර් මාසයේදී 4.1% ක් ලෙසින් පැවතුණු උද්ධමනය 2016 දෙසැම්බර් වනවිට ඉහළ ගොස් තිබුණේ 4.2% ක් දක්වා සුළු ප්‍රමාණයකිනි. නමුත්, මෙය 2017 ජනවාරි මාසයේදී 5.5% ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40% ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. ඒ සඳහා හේතුවූයේ නව රජය බලයට පත්වන අවස්ථාවේදී ජනතාව තුළ වර්ධනය වූ ඉහළ බලාපොරොත්තුවයි. මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.

    PEOI-2017-01-A

    2016 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ අංශය මිශ්‍ර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර තිබේ. අපනයන ආදායම වර්ධනයට වඩා ආනයන වියදම සැලකිය යුතු ලෙස වැඩිවීම නිසා 2016 දෙසැම්බර් මාසයේදී මෙරට වෙළඳ හිඟය තවදුරටත් පුළුල් වී තිබේ. මෙම මාසයේදී සංචාරකයින්ගේ ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ හිතකර ලෙස වර්ධනය වී ඇත.
    2016 දෙසැම්බර් මාසයේදී මෙරට අපනයන අදායම 2015 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.7% කින් වර්ධනය වී ඩොලර් මිලියන 859 ක්වී තිබේ. 2017 ජනවාරි මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම ඇතුළු ජනතාවගේ අනිකුත් ආර්ථික අපේක්ෂාවන් කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.
    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව 2017 ජනවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහළ බැස තිබේ. උද්ධමනය නැවතත් වර්ධනය වෙමින් තිබීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී 15% ක මට්ටමක් දක්වා ඉහළ ගිය මෙම අපේක්ෂාව නැවතත් 2017 ජනවාරි වනවිට 11% ක මට්ටමක් දක්වා පහළ බැස තිබෙන බව පෙනී යයි. වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී මෙම අපේක්ෂාවද ඉතාමත් ඉහළ තත්ත්වයක තිබුණි. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    PEOI-2017-01-B

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

    2016 දෙසැම්බර් සමීක්ෂණය මගින්ද පෙනුණේ මෙම බලාපොරොත්තුව පහළ ගොස් තිබෙන ආකාරයයි. නමුත්, 2017 ජනවාරි මාසයේදී දූෂණය අඩුවේ යැයි ජනතාව තුළ තිබෙන අපේක්ෂාව යළිත් කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත්කරන ලදී. (03 වන ප්‍රස්ථාරය බලන්න)

    PEOI-2017-01-C

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.