බැඳුම්කර මංකොල්ලයට වසර 5 යි

    February, 27, 2020

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මූල්‍ය අක්‍රමිකතාවය සිදුවී අදට වසර 5කි. නමුත් සැකකරුවන් සිටිය ද කිසිවකුත් මේ වනතෙක් ඊට වැරදිකරුවන් වී නැත.

    “රැවටිලිකාරයකුට, රැවටිලිවලට හසු වන්නකු ද හැම විටම මුණ ගැසෙන තරමට මිනිසුන්ගේ මනස සරලය. ඔවුහූ ඔවුන්ගේ වර්තමාන අවශ්‍යතා විසින් මෙහෙයැවෙන්නෝය.“

    • නිකොලොයි මකියාවෙලී (කුමාරයා - 18 වැනි පරිච්ඡේදය)

    බැඳුම්කරයේ ප්‍රශ්නය තවත් වසර 25කින් අවසන් වනු ඇත. 2015 පෙබරවාරි 27 දින නිකුත් කරන ලද, වසර 30කින් එනම් 2045 වර්ෂයේ දී කල්පිරෙන එම බැඳුම්කරයේ පරිණත කාලයෙන් 1/6 ක් මේ වන විට ගෙවී අවසන්ය. තවත් වසර 25කින් එය කල්පිරෙනු ඇත. ඒ වන විට අවම වශයෙන් තවත් ආණ්ඩු 5ක් මේ රට කරනු ඇත. ජනාධිපතිවරණ අවම වශයෙන් 5 ක් පැවැත්වෙනු ඇත. එම ඉතිරි අවුරුදු 25 න් පසු එනම්, වර්ෂ 2045 මාර්තු 01 වැනි දින රුපියල් මිලියන 10,058 ක මුදලක් ගෙවා මහ බැංකුව විසින් මෙම බැඳුම්කරයෙන් නිදහස් වනු ඇත. මහ බැංකුවට ගෙවීමට මුදල් නැතිනම් ඔවුන් අලුතින් සල්ලි අච්චු ගසා හෝ එය ගෙවිය යුතුය. මක් නිසාද යත් භාණ්ඩාගාර බැඳුම්කර යනු දිගු-කාලීනඅවදානම් විරහිත සුරැකුම්පත් වර්ගයක් වන නිසාත්, ඒ සඳහා ගෙවීමට පොරොන්දු වන පොළී සහ පරිණත අගය ගෙවීම පිළිබඳ කිසිදු අවිනිශ්චිතතාවයක් නොමැති වීමත් හේතුවෙනි.

    2015 පෙබරවාරි 27 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 1,000 ක මුදලක් සම්පාදනය කර ගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීය. මේ සඳහා රු. මිලියන 20,708 ක ලංසු ලැබුණු අතර එයින් රු. මිලියන 10,058 ක ලංසු භාර ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කළේය. වසර 30කින් කල්පිරෙන සේ නිකුත් කරන ලද එම බැඳුම්කරය සඳහා 12.5%ක පොළියක් ගෙවීමට මහ බැංකුව එකඟ වී තිබුණි.

    මෙම බැඳුම්කර නිකුතුව මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය තරමක් දුරට හෝ වැඩිදුයුණු කරලීමට සමත් වූ බව කිව යුතුය. ‘බැඳුම්කර‘, ‘ප්‍රාථමික අලෙවිකරුවන්‘, ‘ඇලෝෂියස්‘, ‘පර්පෙචුවල් ට්‍රෙෂරීස්‘ වැනි වචන සහ පුද්ගල/ආයතනික නාම කරළියට පැමිණියේ මෙම බැඳුම්කර වෙන්දේසි දිනෙන් පසුවය. එතෙක් මෙරට මහජනතාවගෙන් බොහොමයක් සිතා සිටියේ මහ බැංකුව කරනුයේ මුදල් නොට්ටු අච්චු ගැසීම පමණක් බවයි.

    වර්තමානයේ දී මෙම බැඳුම්කර නිකුතුව හේතුවෙන් රජය, මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන විශාල වශයෙන් අලාභ ලබා ඇති බව විවිධ අය විවිධ කතා පවත්වති. වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ 2015 පෙබරවාරි  මස 27 වන දින පැවත්වූ ඉහත කී වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බවත්, ද්විතීය වෙළෙඳ පොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බවත්ය. තවද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මේ පිළිබඳ විමර්ෂන වාර්තාවල ද මේ සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ ඉලක්කම් සඳහන් වේ.

    කෙසේ වෙතත් මෙම බැඳුම්කර නිකුතුව හරහා මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන අලාභ ලැබුවා යනුවෙන් සඳහන් කරනවාට වඩා නිවැරදි කියවීම වන්නේ එම ආයතනවල සහයෝගයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය අසාමාන්‍ය ලාභයක් ඉතා කෙටි කලක් තුළ වාර්තා කළා යැයි කීමය.

    2015 පෙබරවාරි 27 දින පැවැත්වුණු බැඳුම්කර නිකුතුව තරම් මෙතෙක් ඉතිහාසයේ විමර්ෂනයට ලක් කෙරුණු වෙනත් මූල්‍යමය ප්‍රපංචයක් නොමැති තරම්ය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, ජනාධිපති කොමිෂං සභා, වෝහාරික විගණන ආදී එකී මෙකී නොකී සෑම ක්‍රමවේදයක් මාර්ගයෙන්ම මේ පිළිබඳව වුවමනාවටත් වඩා පිරික්සා තිබේ. එහෙත් ඒ කිසිවක් වැරදිකරුවන් හට දඬුවම් ලබා දීමට තරම් මෙතෙක් ප්‍රමාණවත් වී නැත. ඒ මක් නිසාද යන්න පිරික්සීමට දැන් කාලය එළඹ තිබේ.

    එසේ නොමැති නම් වසර 5ක් ගත වී ගියා සේ, අපට නොදැනීම මෙම බැඳුම්කරය කල් පිරෙන තෙක් ඉතිරි වසර 25 ද ගත වී යනු ඇත.