බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක අරමුදලට වූ පාඩු පියවා ගන්න මහ බැංකුව සිවිල් නඩුකර පවරයි

    October, 15, 2018

    ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුකූල ව ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ මෙහෙයුම් අංශයන් හා බැඳුණු ක්‍රියාවලියන්හි විනිවිදභාවය සහ වගවීම වඩාත් තීව්‍ර කිරීමේ අභිලාෂයෙන්  ආරම්භ කරන ලද්දා වූ සහ ක්‍රියාවට නැංවූ පියවර පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක වන නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා, පියවර රැසක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.  මුදල් නීති පනතට සහ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනතට සංශෝධන මේ වනවිට සකස් කරමින් පවතී.

    භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ ව නව වෙන්දේසි ක්‍රමයක් හඳුන්වා දීම මඟින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලිය ශක්තිමත් කර ඇත.  භාණ්ඩාගාර බිල්පත් සඳහා ද ඊට සමාන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී.  ලංසු තැබීමට පෙර පවත්වනු ලබන රැස්වීම නිරන්තරයෙන් පවත්වනු ලබන අතර, වෙන්දේසි දින දර්ශනය කල් තබා ප්‍රසිද්ධ කිරීමත් සම්පූර්ණ පිරිනමන මුදල ඉක්මවා ලංසු භාර නො ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමත් සිදු කර ඇත.  නිකුතුව හා සම්බන්ධ ක්‍රියාවලියට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වඩාත් ශක්තිමත් කර ඇති අතර මෙහෙයුම් අත් පොත යාවත්කාලීන කර ඇත.

    සේවක අර්ථ සාධක අරමුදලේ අරමුදල් කළමනාකරණ කාර්යය හා සම්බන්ධ අභ්‍යන්තර පාලන ක්‍රමවේද වැඩි දියුණු කර, අවදානම් අවම කිරීම සහ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමේ ප්‍රතිපාදන ඇතුළත් වන නව ශක්තිමත් ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය, ආයෝජන සහ වෙළෙඳ මාර්ගෝපදේශය සහ යාවත්කාලීන කරන ලද මෙහෙයුම් අත්පොත දැනට භාවිතයේ පවතී.

    නීති අංශය වඩාත් ශක්තිමත් කිරීම සඳහා සම්පත් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර අවදානම්වලට නිරාවරණය වීම සලකා බලා අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ආවරණ පරාසය වඩාත් පුළුල් කර ඇත. දුෂ්කෘත නිවේදන ප්‍රතිපත්තියක් (Whistleblowing Policy) සහ චර්යා ධර්ම සංග්‍රහයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු ම සේවකයන්ට අදාළ වන ලෙස හඳුන්වා දී ඇත.

    යම් අරමුදලක් විසින් කොටස් සහ භාණ්ඩාගාර බැඳුම්කරයන්හි සිදු කරන ලද ආයෝජන, භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට සහ අධීක්ෂණයට යටත් තෝරා ගත් ආයතනයන්හි තෝරා ගත් මෙහෙයුම් සම්බන්ධ ව වෝහාරික විගණන පරීක්ෂාවන් සිදු කිරීමට අදාළ ව ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක කර ඇත. එකී වෝහාරික විගණන පරීක්ෂණ, ගෝලීය පරිචයක් සහිත ආයතන මඟින් සිදු කරවීමට අපේක්ෂා කරයි.

    එක්තරා ප්‍රාථමික වෙළෙන්දෙකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල සමඟ සිදු කරන ලද ගනුදෙනු අනුසාරයෙන් ලැබූ අයුතු ලාභ නැවත අය කර ගැනීම සඳහා සිවිල් නඩුකර පවරා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත නීතිය බලාත්මක කරන ආයතන විසින් දැනට නීති කෘත්‍ය ආරම්භ කර ඇත.