බෑනාට සම්බන්ධ සමාගම ලංසු ඉදිරිපත් කළ ආකාරය අසාමාන්‍යයි. පුළුල් විමර්ශනයක් ඕනෑ -විමර්ශන කමිටුව

    April, 19, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ආන්දෝලනයට තුඩුදුන් වසර 30 කින් කල් පිරෙන බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කළ ත්‍රි පුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම බැඳුම්කර නිකුතුවට මහ බැංකුවේ අධිපතිවරයා සෘජුවම දායකත්වය දක්වා නොමැති නමුත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ කමක් තිබෙන පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත්කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ දුවණිය වන අංජලී මහේන්ද්‍රන් සමග විවාහ වී සිටින අර්ජුන් ඇලෝෂියස්ට සම්බන්ධ කමක් තිබෙන පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් කර තිබෙන අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු වලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතල අඩුලුහුඬුකම් පවතින බව නීතිඥ ගාමිණී පිටිපන, නීතිඥ මහේෂ් කළුගම්පිටිය, නීතීඥ චන්දිමාල් මෙන්ඩිස් යන අයගෙන් සැදුම්ලත් ත්‍රි පුද්ගල කමිටුව විසින් සඳහන් කර ඇත.

    මේ නිසා, වසර තිහක බැඳුම්කර නිකුතුවට අදාළව අති විශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බවත් සිය ප්‍රධාන අලෙවිකරුගෙන් කරුණු විමසිය යුතු බවත් මෙම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

    කෙසේවෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කර තිබෙන පරිදි මෙම බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වනදා රුපියල් බිලියන 13.55 රජයේ මූල්‍ය අවශ්‍යතාවය ලෙස දක්වා තිබුණු බව සඳහන්ය.

    මහ බැංකු අධිපතිවරයා සභාපතීත්වය දරණ මුදල් මණ්ඩලයේදී මෙම බැඳුම්කර නිකුතුවේ ප්‍රමාණය පිළිබඳව තීරණය කර නොමැති බවත් මෙම කාර්ය භාරව තිබෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට බවත් සඳහන්ය. මෙසේ අගය ඉක්මවා ලංසු භාරගැනීමේ තීරණය ගෙන තිබෙන්නේ පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය විසින් බවත් මහ බැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන බවත් විමර්ශන කමිටුව විසින් සඳහන් කර ඇත.

    මීට අමතරව, මෙම කමිටුව විසින් නිගමනය කර තිබෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහ ටෙන්ඩර් මණ්ඩලයේ කාර්ය සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් සෘජු මැදිහත්වීමක් කර නොමැති බවයි.

    මේ අතර, මෙම කමිටුව විසින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වඩාත් හොඳ පාලන යාන්ත්‍රණයක් තහවුරු කිරීම සඳහා වන පුළුල් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන අතර රජයේ දේශීය හා විදේශීය ණය සම්බන්ධයෙන් වන සියළු කාර්යන් මෙහෙයවන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අඩුලුහුඬුකම් කිහිපයක්ම පෙන්වාදී තිබේ.

    මෙම බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පසුගියදා පැය 06 ක පමණ කාලයක් ප්‍රශ්න කළ අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තවත් දෙදෙනෙකු මෙම නිකුතුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර ඇත.

    මෙම පෙත්සම ගොනුකිරීම සඳහා එක්වූ අනිකුත් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ආචාර්ය ජී. උස්වත්ත ආරච්චි මහතා සහ සිවිල් ඉංජිනේරුවෙකු වන ඒ.සී. විශ්වලිංගම් මහතායි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකු අධිපතිවරයාගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස්ට සම්බන්ධ ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි මෙම චෝදනාව එල්ලවී තිබේ.

    රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණි.

    කෙසේවෙතත්, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් නැමති මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම (Primary Dealer) රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුවේ පොලී අනුපාතය සියයට 12.5 ක් වැනි ඉහළ අගයක් ගත් බවත් වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට චෝදනාව එල්ල වුණි.

    භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන්නේ රජයට අවශ්‍ය ණය සම්පාදනය කර දීමයි. මෙහිදී, මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) විසින් මිලදී ගන්නා අතර පසුව ඔවුන් විසින් ඒවා නැවත ආයෝජකයින්ට ද්විතියික වෙළඳ පොළේදී අලෙවි කරයි.

    (භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම පිළිබඳව මෙම ලින්ක් එකට ගොස් අවබෝධය ලබාගත හැකිය http://www.cbsl.gov.lk/htm/sinhala/07_af_2pdm/pdm_2.html)

    මේ අනුව, ගත්විට මහ බැංකුව සිදුකළ වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන 05 ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්නට පුළුවන් බව මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන පාර්ශවය ඉදිරිපත් කරන තර්කයයි.

    මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳව මහ බැංකුව විසින් නිකුත් කර තිබූ නිවේදනය මෙන්න!Bond12