බියගම අපනයන ප්‍රවර්ධන කලාපයේ කාන්තා දින සැමරුමට HNB FINANCE අනුග්‍රහය දක්වයි

    March, 16, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE සමාගමේ අනුග්‍රහයෙන්, ප්‍රජා පොලිස් කොට්ඨාශය හා බියගම පොලිස් ස්ථානය විසින් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වන දා බියගම අපනයන ප්‍රවර්ධන කලාපයෙහි DPL සමාගම් පරිශ්‍රයෙහිදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

    ප්‍රජා පොලිස් කොට්ඨාශයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා බියගම අපනයන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවන්හි සේවයෙහි නියුතු සේවිකාවන් 350කට අධික පිරිසක් සහභාගී වූහ. “ කාන්තාවන්ගේ සමාජ සුරක්ෂිතභාවයට නීතියේ රැකවරණය‘‘ යන තේමාව යටතේ පැවතී මෙම සැමරුම් උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා සහභාගී විය.

    ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා පැවැත්වූ මෙම වැඩසටහන ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා විසින් මෙහෙයවූ අතර තම සේවා පරිසරය තුළත් ඉන් පිටතදීත් කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන විවිධ පීඩාවන්ට එරෙහිව නීතීයේ රැකවරණය ලැබිය හැක්කේ කෙසේද , ඒ සඳහා ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත්කිරීම සිදු කරන ලදි. HNB FINANCE හි අනුග්‍රාහක දායකත්වය ඇතිව පවත්වන ලද මෙම වැඩසටහන සඳහා සහභාගී වූවන් අතුරින් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා ලද ජයග්‍රාහිකාවන් 10 දෙනෙකුට වටිනා ත්‍යාග පිරිණැමීම ද මෙහිදී සිදු කෙරිණ.

    මෙම ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “ නීතියේ ඇති ප්‍රතිපාදනයන් පිළිබදව දැනුවත්ව සිටීම තුළින් විවිධ මට්ටම් වලින් කාන්තාවන්ට සිදුවන පීඩාවන්ට සාර්ථකව මුහුණ දීමට ඇයට හැකියාව ලැබෙනවා. කාන්තාවගෙන් ආර්ථිකයට සැලසෙන දායකත්වය වර්ධනය කිරීම සඳහා හැකි සෑම අයුරකින්ම ක්‍රියාත්මක වන සමාගමක් විදිහට ආර්ථික අතින් මෙන්ම සාමාජීය දැනුවත්භාවයෙන්ද කාන්තාව සවිබල ගැන්වීම සිදු කිරීම අගය කරන අතර මෙවැනි සමාජ සත්කාර වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම තුළ කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා HNB FINANCE සමාගමට ඇති සමාජීය වගකීම නිරතුරුව ඉටු කිරීමට අප උත්සාහ දරනවා” යනුවෙන් පැවසීය.

    පෑලියගොඩ පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයන්හි ළමා හා කාන්තා ඒකකයන් භාර පොලිස් නිළධාරී මහත්ම මහත්මීන් හා HNB FINANCE PLC හි ප්‍රධාන කාර්යාලයේ සහ කඩුවෙල ශාඛාවේ නිළධාරීහු මේ අවස්ථාවට සහභාගී වූහ.

    HNB FINANCE

    වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 70 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME&" ලීසිං සේවාරන් ණය, නිවාස ණය, පුද්ගලික ණයඅධ්‍යාපන ණයඉතිරිකිරීම්සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය  සේවා ප‍්‍ර‍්‍රධාන වේ.