බියර් බද්දෙන් ආණ්ඩුවට රු. කෝටි 3,500 ක ආදායමක්

    May, 21, 2019

    2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී බියර් කර්මාන්තය හරහා රජයට ලැබී ඇති ආදායම රුපියල් බිලියන 35.4 (රු. කෝටි 3,540) ක් බව වාර්තා වේ. ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සමාගම සිය නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණය කර ඇති අතර ඔවුන් පවසන්නේ මෙලෙස බියර් කර්මාන්තය හරහා රජයට ලැබෙන බදු ආදායම වාර්ෂිකව රුපියල් බිලියන 8.2 සිට රුපියල් බිලියන 35.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    තවද 2019 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී ලයන් බෘෘවරි සමාගමේ පිරිවැටුම රුපියල් බිලියන 42.8 ක් ලෙසින් වාර්තා වන අතර මෙම කාලපරිච්ඡේදය තුළ දී සමාගම රුපියල් බිලියන 3.2 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ.

    මේ අතර ලයන් බෘෘවරි සමාගම පවසන්නේ පසුගිය මූල්‍ය වර්ෂය තුළ දී මෙරට සංචාරක කර්මාන්තයේ ඇති වූ වර්ධනය, මෙලෙස තම සමාගම ඉහළ කාර්යසාධනයක් වාර්තා කිරීමට හේතු වූ බවයි. පසුගිය අප්‍රේල් 21 දා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවෙන් සිය සමීපතම ව්‍යාපාරික හවුල්කරුවන් (ප්‍රධාන පෙළේ හෝටල් තුනක්) තිදෙනෙකු ද ගොදුරු බවට පත් වූ බවත්, කෙසේ වෙතත් ඉතා ඉක්මනින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු යථාතත්ත්වයට පත්වනු ඇති බවත් ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී කියා සිටී. එසේම පවතින තත්ත්වය තුළ දී ඉදිරියේ දී සංචාරක කර්මාන්තයේ ඇතුළු ආර්ථිකයේ පහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.