බිලියන 6 ක තේ අරමුදලට අත තියනවාට තේ සංගම්වල විරෝධය

    August, 29, 2016

    තේ කර්මාන්තයේ යෙදෙන සියලු පාර්ශවකරුවන් තේ මණ්ඩලය සතු අරමුදලක් රජය විසින් පවරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.

    කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන සංගමය හා කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමය එක්ව නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    2010 ඔක්තෝබර් මාසයේ සිට තේ ප්‍රවර්ධන හා අලෙවි සෙස් බද්ද හඳුන්වා දුන් අතර එහිදී අපනයනය කරන සෑම තේ කිලෝග්‍රෑම් 1 ක් සඳහා ම රු. 3.50 ක සෙස් බද්දක් රජය විසින් අයකිරීම ආරම්භ කරන ලදී. ඒ ශ්‍රී ලංකා තේ, ලොව පුරා ප්‍රවර්ධනය කිරීමේ පරම අභිලාෂයෙන් යුතුව අරමුදලක් ගොඩනැගීම වෙනුවෙනි.

    මෙම අරමුදල තේ මණ්ඩලය විසින් පරිපාලනය කරනු ලැබූ අතර කර්මාන්තයේ නියෝජිතයින් විසින් එය නියාමනය කරනු ලැබීය. මේ වන විට මෙම අරමුදල රුපියල් බිලියන 6 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම අරමුදල ගොඩනගන ලද්දේ “CEYLON TEA” නාමය ලොව පුරා ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් භාවිතයට ගැනීම සඳහාය.

    මෙම අරමුදලේ හිමිකාරීත්වය විවාදයකින් තොරව එය ගොඩනැංවීමට දායකත්වය දුන් තේ කර්මාන්තයේ පාර්ශවකරුවන් සතුය. මෙම අරමුදල සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය යළි සලකා බලන ලෙස මෙම සංගම් රජයෙන් ඉල්ලා සිටී.

    පසුගිය දා පැවති උත්සවයක දී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියේ මෙම අරමුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සැලසුමක් තිබෙන බවත්, තේ කර්මාන්තයට අයිති මෙම අරමුදල එලෙස පවරා ගැනීමක් කළ හොත් තවදුරටත් තමාට ඇමතිධූරය දැරිය නොහැකි බවත්ය.
    මීට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමවක දී පැවසුවේ, අදාළ අරමුදල වැනි අරමුදල් නිසි කළමනාකරණය සඳහා මෙවැනි පියවරක් ගැනීමට කටයුතු කළ බවයි.