බොරතෙල් ආනයනය නවතා දැමුවේ මාස දෙකකට කලින්

    November, 17, 2021

    ප්‍රමාණවත් තොග පැවතීම නිසා බොරතෙල් ආනයනය නොකිරීම සහ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන පරිමාව අඩුවීම හේතුවෙන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන ආනයන වියදම පහළ ගිය ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    “කෙසේ වෙතත් ආනයන පරිමාවන් පහළ ගිය ද, 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ආනයන මිල ගණන්වල සාමාන්‍යය සියයට 64.6කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ යෑම පිළිබිඹු කරමින් පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිත (LP ගෑස් ඇතුළුව) ආනයන වියදම ඉහළ ගියේය. ඉහළ ආනයන පරිමාවන් සහ මිල ගණන් හේතුවෙන් ගල් අඟුරු ආනයන වියදම ද කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය“, යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර 2021 ජනවාරි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී මෙරටට ඉන්ධන ආනයනය සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 2,596.8 ක් වේ. මෙය 2020 වසරේ පළමු මාස 09 හා සැසඳීමේ දී සියයට 36.3 ක ඉහළ යාමක් වේ. 2021 අගෝස්තු මාසයේ දී බොරතෙල් ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 107.7 ක වියදමක් දරා තිබේ.