බොරතෙල් මිල දී ගන්න Swiss Singapore Oversea සමඟ දිගුකාලීන කොන්ත්‍රාත්තුවක්

    March, 8, 2019

    2019 මාස අටක කාලයක් සඳහා මර්බන් බොරතෙල් (Murban Crude Oil) මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd., වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    මීට පෙර 2018 අප්‍රේල් 01 සිට මාස අටක කාලයක් සඳහා මර්බන් බොරතෙල් බැරල් 7,000,000 ක් මිල දී ගැනීම සඳහා, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 1.69 ක් බැගින් වන මුදලකට M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd වෙත පිරිනැමීමට එවකට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

    කෙසේ වෙතත් මෙවර කොපමණ බොරතෙල් බැරල් ප්‍රමාණයක් කොන්ත්‍රාත්තුව සඳහා ඇතුළත් ද යන වග අනාවරණය කර නැත.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සපුගස්කන්ද තෙල්පිරිපහදුවේ පිරිපහදු ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය බොරතෙල් සැපයුම සහතික කිරීම පිණිස දීර්ඝකාලීන කොන්ත්‍රාත්තු යටතේ බොරතෙල් මිල දී ගැනීමට ගෙන රජය ගෙන ඇති තීරණයෙහි ප්‍රතිඵලයක් ලෙසින් මෙම පියවර ගෙන තිබේ.