බෝට්ටු අපනයනය සියයට 50% කින් වැඩි වෙලා

    June, 18, 2018

    බෝට්ටු නිෂ්පාදනය හා අපනයනය ඉදිරියටම පැමිණෙමින් තිබෙන බවත්, එසේම නාවික හා සමූද්‍ර සංචාරක ක්‍ෂේත්‍රයේ සංවර්ධනය කැපී පෙනෙන බවත්, අප මේ වන විට 2016 ට සාපේක්ෂව 2017 වසරේ දී බෝට්ටු නිෂ්පාදන අපනයනය සියයට  50% කින් වැඩි කර ගෙන, ඩොලර් මිලියන 97 ක (රුපියල් මිලියන 15,520) ආදායමක් උපයා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා  කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති බෝට් ෂෝ ශ්‍රී ලංකා 2018 බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය පිළිබදව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ ප්‍රවර්ධන ආයතනය, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම බෝට් ෂෝ ශ්‍රි ලංකා 2018 බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය සංවිධානය කරනු ලබයි. මෙවැනි ප්‍රදර්ශනයක් මුලින්ම ආරම්භ කරනු ලැබ්වේ 2008 වසරේදීය. ඉන් අනතුරුව 2010-2012-2014 හා 2016 වසර වලදීද මෙම බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය පැවැත්වුණි. මෙය දකුණු ආසියාවේ වඩාත් ඉලක්කගත හා විශාලතම ප්‍රදර්ශනය ලෙස ප්‍රචලිතය. මේ නිසා ශ්‍රී ලංකාවේ බෝට්ටු කර්මාන්තයට ශක්තිමත් අපනයන වෙළෙද ජාලයක් නිර්මාණය වී ඇත. මෙවර බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය පැවැත්වෙන්නේ 2018 ඔක්තෝබර් 26 සිට 28 දක්වා ගාල්ල වරායේ යොට් යාත්‍රාංගනයේදීය.මෙම ප්‍රදර්ශනය වෙළෙද කුටි 80 කින් සමන්විත වන බව බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ ප්‍රවර්ධන ආයතනය සදහන් කරයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    මෙම බෝට් ‍ෂෝ ශ්‍රී ලංකා 2018 ප්‍රදර්ශනය හා සැනකෙළිය නාවික හා සංචාරක ක්‍ෂේත්‍රයේ ආකර්ෂණීය සැණකෙළියක් ලෙස හඳුන්වන්න පුලුවන්. මෙම සැණකෙළියේදී පැවැත්වෙන බෝට්ටු තරඟ, ක්‍රීඩා ආදී විවිධාංගයන් නිසාත්, බෝට්ටු ප්‍රදර්ශනය නිසාත් අපගේ බෝට්ටු කර්මාන්තයට විශාල පිළිගැනුමක් ලැබෙනවා. මේ මඟින් අප සමුද්‍රීය හා නාවික සංචාරක කර්මාන්තයේ විශිෂ්ඨතම දැනුම් සම්භාරයක් ලබා ගන්නටත්, අපගේ අපනයනය ඉහළ නංවා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශීය බෝට්ටු හා නැව් නිෂ්පාදනය හා අපනයනය ප්‍රවර්ධනය කර ගැනීමට මඟ පාදන උපාය මාර්ගික ක්‍රියාකාරීත්වයක් ලෙසත් මම මේ ප්‍රදර්ශනය දකිනවා. ඒ නිසාම අප 2017 අවසානයේදී රුපියල් මිලියන 100 ක මුදලක් බෝට්ටු කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් හා එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ආයෝජනය කරලා තියෙනවා. ඒ නිසාම අපි ගිය වසරේද බෝට්ටු නිෂ්පාදනයේ ලද ආදායම සියයට 50% කින් වැඩි කර ගැනීමට සමත් වී තිබෙනවා. අපේ රටේ බෝට්ටු නිෂ්පාදන සමාගම් රැසක් පවතිනවා. ඒවා අතරින් සමාගම් 11 ක් පමණ බෝට්ටු හා විශාල යාත්‍රා අපනයනය කිරීමේ නිරත වෙනවා. එම සමාගම් වෙත මගේ ප්‍රණාමය පුද කරන්නට කැමතියි. ඉන්දීය සාගරයේ අපේ රට පිහිටා තිබෙන ආකාරය අනුව බෝට්ටු නිෂ්පාදනය හා නාවික සංචාරක කර්මාන්තයට ස්වාභාවිකවම වාසිදායක තත්ත්වයක් පවතිනවා. අපි ඒ වාසියේ ප්‍රයෝජනය උපරිම අන්දමින් ලබා ගන්න ඕන. ඒ සදහා අප ඉදිරි වසර කීපය තුළ සැළසුම් සහගතව කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා බෝට්ටු හා විශාල යාත්‍රා නිෂ්පාදකයින් වන ඔබගේ සහයෝගය අවශ්‍ය වෙනවා.” යැයි පැවසීය.

    මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත, බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ ප්‍රවර්ධන ආයතනයේ සභාපති නීල් ප්‍රනාන්දු මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් හා ව්‍යාපාරිකයන් සහභාගී විය.