බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම ආසියා පැසිෆික් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වෙයි

    September, 3, 2018

    වාහන අමතර කොටස් නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ අපනයනයේ පුරෝගාමී සමාගමක්වන බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා 2018 ආසියා පැසිෆික් සම්මාන උළෙලේදී නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත ම ව්‍යාපාරික පුරෝගාමියා ලෙස සම්මානයට පාත්‍ර වූයේය.

    සිව්වන වරටත් සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි. සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි කටයුතු හා ඉඩම් අමාත්‍ය ගරු ජෝන් අමරතුංග, එන්ටර්ප්‍රයිස් ඒෂියාහි සභාපති ඩෙටෝ විලියම් සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු ද ඊට සහභාගී වූහ. එන්ටර්ප්‍රයිස් ඒෂියා විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් ව්‍යවසායකත්ව විශිෂ්ටත්වය, තිරසාරත්වය සහ නවෝත්පාදනය ඇගයුමට ලක් කෙරේ. මැලේසියාව, ඉන්දුනීසියාව, බෘනෙයි, සිංගප්පුරුව, හොං කොං, ඉන්දියාව සහ චීනය යන රටවල ද මෙම සම්මාන උළෙල පැවැත්වේ.

    ISO 9001:2015, ISO 14001: 2004 තත්ත්ව සහතිකය ඇතුළු තවත් ඇගයුම් රැසකට පාත්‍ර වී ඇති බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම මෝටර් රථ සවිකිරීම්, සස්පෙන්ෂන් කොටස්, දුනු සහ වෙනත් කොටස් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු වාහන කොටස් වර්ග 500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. මහල් ගොඩනැගිලි සඳහා අවශ්‍ය හැන්ගර් බෝල්ට්ස් සහ පාරිභෝගික අවශ්‍යතාව අනුව නිෂ්පාදනය කෙරෙන ආලෝක ඉංජිනේරු නිෂ්පාදන ද එම නිෂ්පාදන අතර වෙයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු දුනු නිෂ්පාදනය කිරීම සඳහා සමාගම සතුව හරිත නිෂ්පාදනාගාරයක් ද පවතී.

    "ව්‍යවසායකත්වය යනු අභියෝගාත්මක චාරිකාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන අමතර කොටස් නිෂ්පාදකයෙකු බවට පත්වීමට මා හට හැකි වුණේ අප්‍රතිහත ධෛර්යය සහ නිර්මාණශීලි චින්තනය නිසයි. මෙරට මාර්ග සඳහා වඩාත් හොඳින් ගැලපෙන කල්පවතින නිෂ්පාදන සිදු කිරීම සඳහා කැපවන අප ශීඝ්‍රයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා. නව ක්‍රමවේද හඳුනා ගනිමින් ජාත්‍යන්තර වෙළඳපල තවතවත් පුළුල් කරමින් සමාගමේ නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කිරීම හරහා දේශීයව මෙන්ම ගෝලීයව ද වාහන කොටස් සඳහා ප්‍රමුඛ නාමයක් බවට පත්වීමට හැකිවන බව අපගේ විශ්වාසයයි" බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.

    සමාගමේ සුවිශේෂී නිර්මාණශීලි චින්තන රටාව සහ එස් 5, කයිසන්, JLT, TPM සහ TQM ආදී සංකල්ප සිය ක්‍රමෝපායික සැලසුම තුළ ක්‍රියාත්මක කිරීම සඳහා සමාගමේ නිර්මාතෘ විසින් දක්වනු ලබන කැපවීම නිසාම ජපාන ආයතනයක්වන ආසියානු ඵලදායිතා සංවිධානය (APO) බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම 'ආදර්ශ කර්මාන්තශාලාවක්' ලෙස ද නම්කර ඇත.

    වසර 37කට අධික අසමසම සේවය සමගින් බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම ජාතික අපනයන මණ්ඩලය විසින් විශිෂ්ටත ම අපනයනකරු ලෙස නම් කෙරිණි. ඊට අමතරව, ජාතික වාණිජ මණ්ඩලයේ ව්‍යාපාර විශිෂ්ටත්වය සඳහාවන ජාතික රන් සම්මානය, CNCI හි කර්මාන්ත විශිෂ්ටත්වය සඳහාවන ජාතික පළිඟුව, FCCISLහි ව්‍යවසායකත්ව ජාතික රන් සම්මානය, SLIM ආයතනයේ වසරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහාවන ජාතික රන් සම්මානය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජාතික ඵලදායිතා සම්මානය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ ජාතික වාණිජ මණ්ඩලයේ 2017 ව්‍යවසාය සම්මාන උළෙලේ විශිෂ්ටත ම බලශක්ති කාර්යක්ෂමතාව, විශිෂ්ටත ම ඵලදායිතාව සහ විශිෂ්ටත ම ව්‍යවසාය සඳහාවන සම්මාන ත්‍රිත්වය ඇතුළුව සම්මාන රැසක් දෙස්-විදෙස් සමාගම් 60කට අධික සංඛ්‍යාවක් අභිබවමින් හිමිකර ගැනීමට බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම සමත්ව සිටී.

    සේයා රූ සටහන : බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා (මැද) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මහතා අතින් ආසියා පැසිෆික් ව්‍යවසායකත්ව සම්මානය ලබාගත් මොහොත. එන්ටර්ප්‍රයිස් ඒෂියාහි සභාපති ඩෙටෝ විලියම් මහතා ද ඡායාරූපයේ වෙයි