May, 4, 2020
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවල දී, පිළිගෙන ඇති ලංසුවල පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී විශේෂයෙන් දැකිය හැකි වූයේ 2020 අප්‍රේල් මස 27 සිට 29 දින දක්වා පවත්වන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 62 ක් දක්වා බැඳුම්කර ඉදිරිපත් කර තිබුණ ද, එහිදී ලැබී තිබුණු ලංසු ප්‍රමාණය ඩොලර් මිලියන 18 ක් තරම් පහළ අගයයක් ගැනීමයි. ලැබී තිබුණු ඩොලර් මිලියන 18 ක සියලු ලංසු එහිදී පිළිගෙන තිබුණි.
මේ අතර අප්‍රේල් 29 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී රුපියල් මිලියන 110,000 ක බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද එහිදී ලැබී තිබුණු ලංසුවලින් පිළිගෙන ඇත්තේ රු. මිලියන 97,268 ක ලංසු පමණි.
තවද පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 30,000 ක බිල්පත් ඉදිරිපත් කර තිබුණු පසුබිමක ලැබුණු ලංසුවලින් පිළිගෙන තිබුණේ රු. මිලියන 23,350 ක ලංසු ප්රමාණයකි.
2020 අප්‍රේල් මස 27 සිට 29 දින දක්වා පවත්වන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය
පාවෙන හා ස්ථාවර පොළී අනුපාතියන් යන විකල්ප දෙක යටතේ මාස 06, වසර 01 මාස 03 සහ වසර 3 යන කල්පීරීමේ කාලයන්ට යටත්ව සහ වසර 04 මාස 09 ස්ථාවර පොළී අනුපාතිකය යටතේ, මෙම වෙන්දේසිය සඳහා සංවර්ධන බැඳුම්කර ඉදිරිපත් කරන ලදී.
මෙහිදී පාවෙන පොළී අනුපාතිකයන් යටතේ කිසිදු ලංසුවක් ඉදිරිපත්ව නොතිබීම විශේෂත්වයකි. ස්ථාවර පොළී අනුපාතිකයන් යටතේ කල්පිරීමේ කාලය මාස 06 සඳහා ඩොලර් මිලියන 0.5ක්, වසර 01 මාස 03 සඳහා ඩොලර් මිලියන 15 ක්, වසර 03 සඳහා ඩොලර් මිලියන 1.2 ක් සහ වසර 04 මාස 09 සඳහා ඩොලර් මිලියන 1.3 ක් ලෙසින් මෙම සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා ලංසු ලැබී තිබුණු අතර එම සියලු ලංසු භාර ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
මේ අනුව මෙම සංවර්ධන බැංඳුම්කර නිකුතුව සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 62 ක් දක්වා බැඳුම්කර ඉදිරිපත් කර තිබුණ ද එහිදී ලැබී තිබුණේ ඩොලර් මිලියන 18ක ලංසු පමණි.

2020 අප්‍රේල් මස 29 දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව
කාණ්ඩ 3 ක් යටතේ මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා රුපියල් මිලියන 110,000 ක බැඳුම්කර වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණු අතර එහි දී රුපියල් මිලියන 185,796 ක ලංසු ලැබී තිබුණි. කෙසේ වෙතත් මෙහිදී පිළිගෙන තිබුණේ රුපියල් මිලියන 97,268 ක ලංසු පමණි. මෙම බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

2020 අප්‍රේල් 28 දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය
පසුගිය සතියේ අඟහරුවාදා (28) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන කල්පිරීමේ කාලයන් සඳහා රුපියල් මිලියන 30,000 ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් සමස්තයක් ලෙස රුපියල් මිලියන 56,528 ලංසු වෙන්දේසිය සඳහා ලැබී තිබුණ ද, පිළිගෙන තිබුණේ රුපියල් මිලියන 23,350 ක බිල්පත් සඳහා ලැබී තිබුණු ලංසු පමණි.
පහත දැක්වෙන්නේ එම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ සටහනකි.

Video Story