භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක්

    July, 26, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. 2015 පෙබරවාරි මාසයේ සිට භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමය මත පදනම් වූ නිකුත් කිරීමේ ක්‍රමය වෙනුවට 2017 ජූලි 27 වන දින සිට මෙම නව ක්‍රමය බලපැවැත්වේ. නව ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ රජයේ දේශීය ණය ගැනීම් හා කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය තවදුරටත් වර්ධනය කිරීමයි.

    නව ක්‍රමය, වඩා ව්‍යූහගත ක්‍රමයක් වන අතර ඊට ක්‍රමවත් ලෙස සැලසුම් කළ බැඳුම්කර නිකුතූන් ඇතුළත් වේත සෑම මාසික නිකුතුවක දීම විවිධ කල්පිරීම් කාල සහිත භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩ දෙකක් ඉදිරිපත් කෙරෙන අතර එම කාණ්ඩවල පරිණතීන් වෙළෙඳපාළ තුළ පවතින සම්පත් හා ගැලපීම අපේක්ෂා කෙරේ.

    එක් එක් පූර්ව අදියරේ ප්‍රතිඵලය මත රඳා පවතින, එක් එක් කාණ්ඩය යටතේ වන නිකුත් කිරීම්, අනුක්‍රමික අදියරයන් තුනක් හෝ ඊට අඩු අදියර ගණනක් තුළ ක්‍රියාත්මක වේ. පළමුවන අදියරය මගින් සාධාරණ වෙළෙඳපොළ මිල ගණන් ඔස්සේ තරඟකාරී බහුවිධ මිල වෙන්දේසි ක්‍රමයක් තුළ නිවේදනය කරන ලද සම්පූර්ණ වටිනාකම නිකුත් කිරීමට උත්සාහ කරනු ලබයි. කෙසේ වුවද, පළමු අදියරේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ලබා ගැනීමට තීරණය වුවහොත්, දෙවන අදියර, වටිනාකම මත පදනම් වූ ස්වෙච්ඡා මිල කැඳවීම් සඳහා විවෘත කරනු ලබයි. දෙවන අදියර යටතේ නිකුත් කිරීම්, පළමු අදියරේ දී තීරණය කරන ලද බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයට සිදු කරන අතර පළමු අදියරේ දී පිළිගත් ලංසු ප්‍රමාණය සහ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි ලංසු ප්‍රමාණයක් ලැබුණු විට, දෙවන අදියරේ නිකුත් කිරීම පළමු අදියරේ වෙන්දේසි සහභාගිකරුවන්ගේ කාර්යසාධනයට සමානුපාතික වේ. සෑම ප්‍රාථමික අලෙවිකරුවක් මෙන්ම ප්‍රාථමික නිකුත් කිරීම් සඳහා බලයලත් අනෙකුත් සහභාගිකරුවන්, දෙවන අදියර යටතේ ලංසු ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබයි.

    පළමුවන සහ දෙවන අදියර යටතේ, අපේක්ෂිත මුදල් ප්‍රමාණයට වඩා අඩුවෙන් එක්රැස් කර ඇති අවස්ථාවල දී එම හිගය, තුන්වන අදියරේ දී අනිවාර්ය පදනමක් මත බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයට, ප්‍රාථමික අලෙවිකරුවන් අතර පමණක් නිකුත් කෙරේ. කෙසේ වුව ද, පළමු අදියරේ දී ඉදිරිපත් කරන ලද මුදලින් අවම වශයෙන් සියයට 60 ක් පිළිගත් අවස්ථාවන් සඳහා පමණක් තෙවන අදියරය ක්‍රියාත්මක කිරීම සීමා වනු ඇත. තුන්වන අදියරේ දී ප්‍රාථමික අලෙවිකරුවන්ට නිකුත් කිරීම, පළමු සහ දෙවන අදියරයන් හි සාර්ථකත්වයේ අනුපාතයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

    මීට අමතරව, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සහ ආයෝජකයන්‍ගේ ආයෝජන සැලසුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්තුමය වශයෙන් වූ භාණ්ඩාගාර බැඳුම්කර දින දර්ශනය ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ කල් තියා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලැබේ.