September, 4, 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (04) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 364 භාණ්ඩාගාර බිල්පත් පොළිය පදනම් අංක 11කින් ඉහළ ගොස් තිබේ.
මේ අනුව පසුගිය වෙන්දේසියේ දී 8.22%ක්ව පැවති බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය මෙම වෙන්දේසියේ දී 8.33%ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ සම්පූර්ණ බිල්පත් ප්‍රමාණය රුපියල් මිලියන 15,000 ක්වූ අතර එය දින 364ක පරිණත කාලයෙන් යුතු බිල්පත්වලින් පමණක් සපුරා ගෙන තිබේ.
වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 1,000 බැගින් වූ දින 91 සහ දින 182 බිල්පත් ප්‍රමාණයන් ඉදිරිපත් කර තිබුණද ඒ සඳහා ලැබුණු ලංසු භාර ගැනීමක් සිදු වී නැත.
පසුගිය අගෝස්තු 22 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 50කින් අඩුකිරීමට තීරණය කළ පසු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ පොළී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවක් පෙන්නුම් කළ පළමු අවස්ථාව මෙය වේ.
මීට පෙර අගෝස්තු 28 දින පැවති වෙන්දේසියේ දී දින 91 බිල්පත් පොළිය 7.84% සිට 7.63% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 7.89% සිට 7.70% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 8.31% සිට 8.22% දක්වා ද පහළ යන ලදී.
Video Story