භාවිත කළ හැකි සංචිතය ඩොලර් මිලියන 50ක් වත් නැහැ – මුදල් ඇමති

    May, 4, 2022

    මේ වන විට රටේ නිල සංචිතයෙන් භාවිතයට ගත හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 50කටත් වඩා පහළ මට්ටමක පවතින බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

    අද (04) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    “2019 වර්ෂය අවසානයේ දී අපට තිබුනා සංචිත හැටියට බිලියන 7ක්. හැබැයි 2015 දී සංචිතය ඒ හා සමානවම ඩොලර් බිලියන 8 යි. ඒ අවුරුදු 4 දී සංචිතය බිලියනයකින් අඩුවෙලා. නමුත් ඒ කාලය තුළත් බිලියන 15ක් ණය අරන් තියනවා. ඒ හා සමානවම බිලියන 10ක් විතර ගෙවලා තියනවා. දැන් මේ මම කියන්න හදන්නේ කාලයක් තිස්සේ ගත්ත ඒවා තමයි මේ එකතු වෙලා තියෙන්නේ.“

    “මේ වෙලාවේ දී අපිට මේ විදේශ සංචිත අහිමි වීම පිළිබඳව කරුණු කිහිපයක් බලපෑවා. ඒ අනුව 2019 වර්ෂය අවසාන වන විට බිලියන 7ක තිබුනු විදේශ සංචිතය අද අපි බාර ගන්නකොට ද්‍රවශීලී සංචිතය මේ රටේ මිනිස්සු දැන ගන්නට ඕන, පාවිච්චි කළ හැකි සංචිතය මිලියන 50ක් වත් නැහැ.“

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 මාර්තු 31 දින වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.91 ක් ලෙසින් සඳහන් වන අතර එහිදී විදේශ විනිමය සංචිතය ඩොලර් ඩොලර් බිලියන 1.70 ක් ලෙසින් දක්වා ඇත.