මගී දුම්රිය 50,000 ක් ධාවනය වෙන්නේ ප්‍රමාද වෙලා. පන්දාහක් පැයකටත් වඩා පරක්කුයි. හාරදාහක් අවලංගුයි

    August, 27, 2019

    2018 වසර තුළ ධාවනය සඳහා සැලසුම් කළ මගී දුම්රිය සංඛ්‍යාව 121,473 ක්වූ අතර එයින් ධාවනය කර ඇති ප්‍රමාණය 117,189 කි. එහිදී මගී දුම්රිය 4,284 ක් අවලංගු කෙරී තිබේ.

    මෙලෙස සැලසුම් කළ මගී දුම්රිය සංඛ්‍යාවෙන්  නියමිත වේලාවට ධාවනය කෙරී ඇත්තේ දුම්රිය 66,192 ක් පමණි. එනම් සැලසුම් කෙරුණු ප්‍රමාණයෙන් 56%කි. ඒ අනුව 2018 වසරේ ධාවනය වූ මගී දුම්රිය සංඛ්‍යාවෙන් 44%ක් හෙවත් 50,997ක්  සටහන් වන්නේ ප්‍රමාද වී ධාවනය වූ දුම්රිය වාරයන් ලෙසිනි.

    මෙහිදී මිනිත්තු 11-30 දක්වා ප්‍රමාද වූ මගී දුම්රිය සංඛ්‍යාව 34,386 ක් වන අතර මිනිත්තු 31-60 ක් දක්වා ප්‍රමාද වී ඇති මගී දුම්රිය සංඛ්‍යාව 11,573 කි. මේ අතර මගී දුම්රිය 5,038ක් ධාවනය වී ඇත්තේ මිනිත්තු 60කටත් වඩා වැඩි කාලයක් ප්‍රමාද වීමෙනි.

    මේ අතර 2018 වසරේ දී සැලසුම් කර තිබූ භාණ්ඩ දුම්රිය 8,911ක් අතුරින් ධාවනය කර ඇති ප්‍රමාණය සටහන් වන්නේ 6,845ක් ලෙසිනි. එනම් 76% ක ප්‍රමාණයකි.

    පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2018 කාර්ය සාධන වාර්තාවෙහි මේ බව සඳහන් වේ.