මන්නාරම සුළං බල ව්‍යාපෘතියේ ධාරිතාව ඉහළට. 73%ක් වැඩ අවසන්

    October, 28, 2020

    ආසියානු සංවර්ධන බැංකු අරමුදල් ඇමෙරිකානු එක්සත් ජනපද ‍ඩොලර් මිලියන 200ක ආයෝජනයක් මඟින් මෙගාවොට් 100ක සුළං බලාගාරයක් මන්නාරම දූපතේ ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

    එහි භෞතික ප්‍රගතිය 73%ක් වන අතර, 2021 වර්ෂයේ ආරම්භයේදී අදාළ ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබයි.

    ව්‍යාපෘතිය සඳහා ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 47ක ඉතිරියක් පවතින අතර, එම මුදලින් එකී බලාගාරයේ තවත් සුළං ටර්බයින 06ක් සවි කිරීම සඳහා හැකියාව පවතින බව පෙනී ගොස් ඇත.

    ඒ අනුව, කටයුතු කිරීම මඟින් එම බලාගාරයේ ජනන ධාරිතාව මෙගාවොට් 20කින් පමණ වැඩි කරගැනීමට හැකියාව පවතී.

    ධාරිතාව වැඩි කිරීමේ යෝජනාවට ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇති අතර ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම පිණිස විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.