February, 7, 2022
පසුගිය 2021 වසරේ සැප්තැම්බර් 7 වැනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කතා කරමින් පැරණි කවියක් මතක් කළේය.
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬු බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
වර්තමානයේ දී රට මුහුණ පා සිටින දරුණු ආර්ථික අර්බුදය ගැන කියන්නට ඔහු එම කවිය යොදා ගත්තේය.
කෙසේ වෙතත් මෙහිදී කියන්නට යන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කියූ එම කවිය ගැන නොව එහි අවසන් පදයේ දැක්වෙන පරිදි මරණ තුනක් ඇති මිනිසා ට කෑමට ඇති පැණිවල මිල ද ඉහළ ගොස් තිබෙන ආකාරයයි.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් විසින් මෙරට නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන ග්‍රෑම් 275 ක බරින් යුතු මී පැණි බහාලුම් දෙකක මිල ගණන්ය.
ඉන් එකක නිෂ්පාදිත දිනය 2021 ඔක්තෝබර් වන අතර අනෙක 2021 දෙසැම්බර් ය. මාස දෙකක පරතරයකි. නමුත් මිල ගණන් දෙකකි.
ඔක්තෝබර් නිෂ්පාදිතයේ මිල රු. 590 ක් වන අතර දෙසැම්බර් නිෂ්පාදිතයේ මිල රු. 680 කි. එනම් මාස දෙකක් තුළ 15% ක් ඉක්ම වූ මිල වැඩිවීමකි.
පසුගිය මාස දෙක තුළ මිල ගණන් පිරික්සීමේ දී එලෙස මිල ඉහළ නොගිය ආහාරයක්/ නිෂ්පාදිතයක් සොයාගැනීමට නොමැති තරම්ය.
2022 ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩය තුළ සහල්, නැවුම් පලතුරු, කිරිපිටි සහ පාන් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කර සිටී.
දිගින් දිගටම ඉහළ උද්ධමනයක් වාර්තා වෙද්දී බඩුමිල ජනතාවට දරා ගත නොහැකි මට්ටමකට පැමිණ තිබෙන බව මේ වන විට සැබෑවකි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 12.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා උද්ධමනය වැඩි වී තිබේ. ඊට අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 25.0 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව ලොව ඉහළම ආහාර උද්ධමනයක් ඇති රටවල ලැයිස්තුවේ 12 වැනි තැනට ශ්‍රී ලංකාව පැමිණ සිටී. ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාවට ඉහළින් සිටින්නේ ලෙබනනය, ඉරානය සහ සිරියාව පමණි. එම රටවල් ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ද දැඩි අර්බුදයන්ට මුහුණ පා තිබේ.
අත්‍යාවශ්‍ය ආහාර පමණක් නොව අද වන විට සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ වන දන්තාලේප, සබන්, බිස්කට් වැනි භාණ්ඩවල මිල පවා පසුගිය මාස දෙක තුන තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත් දිගින් දිගටම ඉහළ යන භාණ්ඩ මිල පාලනය කිරීමට ක්රමික විධිමත් පියවරක අවශ්‍යතාවය මේ වන විට අත්‍යාවශ්‍ය වී තිබේ.
සිම්බාබ්වේ හෝ වෙනිසියුලාවේ මට්ටමට ශ්‍රී ලංකාව නොයාමට නම් මේ සඳහා තීන්දු තීරණ අද හෙටම ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් 20 පහත පරිදි වේ.

Video Story