මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි

    August, 20, 2018

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඉදිකිරීම් සමාගමක් වන  MTD Walkers PLC වෙත රුපියල් බිලියන 10 ක ණය මුදලක් මුදා හැරීම මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.

    මහජන බැංකුව විසින් තනි පාර්ශවයක් වෙත මෙතක් මුදා හැර ඇති වැඩිම ණය මුදල ලෙසින් මෙය සැලකෙන අතර ඒ සඳහා ණය යොදවා ඇති ව්‍යාපෘතිය ඇගයීම හැර ඇප සුරැකුම් රඳවා ගැනීමක් වාර්තා නොවේ.

    මෙහි ඇති වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ MTD Walkers PLC හි සමූහ විධායක නියෝජ්‍ය සභාපති හා විධායක අධ්‍යක්ෂවරයා වන ජෙහාන් අමරතුංග, මහජන බැංකුවේ ද අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කිරීමයි.

    මෙහිදී බැංකු අධ්‍යක්ෂවරයෙකු බැඳියාවක් දක්වනු ලබන ආයතනයකට හෝ ව්‍යාපාරයකට ලබා දෙනු ලබන ණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහළින් දැක්වේ.

    තත්ත්වය මෙසේ තිබිය දී MTD Walkers PLC වෙත මහජන බැංකුව විසින් ලබා දී ඇති මෙම ණය මුදල පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු විසින් කර තිබේ. මහ බැංකුවේ කරුණු දැක්වීමට පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.

    MTD Walkers PLC 2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 830 ක අලාභයක් වාර්තා කර තිබෙන, මේ හේතුවෙන් මූල්‍ය වාර්තාවලට අනුව එම කාර්තුවේ දී රජයට බදු ගෙවීමක් ද සිදු කර නැත. එමෙන්ම 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය තුළ දී සමාගම වාර්තා කර ඇති සමස්ත අලාභය රු. බිලියන 2.87 කි.

     

    බැංකු අධ්‍යක්ෂවරයෙකු බැඳියාවක් දක්වනු ලබන ආයතනයකට හෝ ව්‍යාපාරයකට ලබා දෙනු ලබන ණය සම්බන්ධයෙන් කරනු ලබන පැහැදිලි කිරීමයි

    බලපත්‍රලාභී බැංකුවක (මින් මතු, බැංකුව) අධ්‍යක්ෂවරයෙකු විසින් සෘජු ව හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් සඳහා ලබා දෙනු ලබන ණය පිළිබඳ ව මෑතක දී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් ඒ හා අදාළ වන නියාමන සහ අධීක්ෂණ රෙගුලාසි පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

    සාමාන්‍යයෙන් බැංකු විසින් පුද්ගලයින්, ආයතන, රජය, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත ආයතන, පුද්ගල සමිති සමාගම් හා අනෙකුත් ආයතන යනාදී විවිධ ණය ලබාගන්නන් හට ණය පහසුකම් ලබා දෙනු ලබයි. මෙම ණය පහසුකම් අදාළ බැංකුවේ ණය දීමේ ප්‍රතිපත්ති, ණය තක්සේරු කිරීමේ සහ ණය ලබා දීමේ ක්‍රියා පටිපාටි මත තීරණය වේ. බැංකුවේ ණය අවදානම් කළමනාකරණය කිරීම අදාළ බැංකුවේ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවට (Integrated Risk Management Framework) අනුව සිදු කළ යුතු අතර බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අදාළ ණය අවදානම් කළමනාකරණ උපාය මාර්ග, ණය අවදානම් ප්‍රතිපත්ති සම්පාදනය සහ කාලීන ව සමාලෝචනය කිරීම සිදු කළ යුතු වේ. මෙකී ණය පහසුකමක් ආපසු ගෙවීමට අපොහොසත් වන අවස්ථාවක දී  බැංකුව විසින් අදාළ ණය පහසුකම අක්‍රීය ණය පහසුකමක් ලෙස වර්ගීකරණය කළ යුතු අතර ඒ සම්බන්ධ ව බලපැවැත්වෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති විධානයන්ට අනුව මෙම අක්‍රිය ණය සඳහා ප්‍රමාණවත් වෙන් කිරීම් සිදු කිරීමට සහ මේ සම්බන්ධ ව වන ආදායම් හඳුනා ගැනීම් තාවකාලික ව නැවැත්වීමට ද කටයුතු කළ යුතු ය. තව ද බැංකු පනත් විධානයන්හි සඳහන් උපරිම සීමාවන්ගෙන් ඔබ්බට කිසිදු පුද්ගලයෙකුට, ආයතනයකට හෝ ආයතන සමූහයකට ණය ලබා දිය නො හැකි ය.

    බැංකු පනත සහ බලපැවැත්වෙන අනෙකුත් විධානයන්ට අනුව බැංකුවලට තම බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුට, එම අධ්‍යක්ෂවරයාගේ සමීප ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකු විසින් සෘජු ව හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වන ව්‍යාපාරයකට ණය ලබා දීම වළක්වා නොමැත. නමුත් මේ ආකාරයෙන් ණය ලබා දීමේ දී බැංකුවට හා බැංකුවට අදාළ අනෙකුත් පාර්ශ්වයන්ට අහිතකර වන ආකාරයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් මඟහැරවීම සඳහා මෙ වැනි ණය දීමක දී බැංකු හට අමතර විචක්ෂණශීලී අවශ්‍යතාවලට යටත් ව කටයුතු කිරීමට සිදු වේ.

    මේ සම්බන්ධයෙන් බලපැවැත්වෙන්නා වූ අමතර විචක්ෂණශීලී අවශ්‍යතාවන් පහත පරිදි වේ ∶

    (i)බැංකුවක් විසින් එම බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුට, අධ්‍යක්ෂවරයෙකුගේ සමීපතම ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකු සැලකිය යුතු බැඳියාවක් දක්වන, එ නම්, 10%කට වඩා කොටස් අයිතිය දරන, ව්‍යාපාරයකට ණය පහසුකමක් ලබා දීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී අදාළ අධ්‍යක්ෂවරයා හැර මුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ 2/3කට නො අඩු පිරිසකගේ අනුමැතිය ලබා ගත යුතු ය. මේ අනුව ලබා දෙන ණය පහසුකම් සම්බන්ධිත පාර්ශ්ව හා කෙරෙන ගනුදෙනු ලෙස හඳුනා ගැනේ.

    (ii)ඉහත (i) හි සඳහන් ණය පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ ඇපයක්/සුරැකුමක් මගින් සුරක්ෂිත කළ යුතු ය.

    (iii)බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් තෝරා පත් කර ගැනීමේ දී එ සේ තෝරා පත් කර ගනු ලබන යම් පුද්ගලයෙකුට, ඔහුගේ සමීපතම ඥාතියෙකුට හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයකට බැංකුව විසින් ණය පහසුකමක් ලබා දී ඇති නම්, බැංකු පනත ප්‍රකාර ව අදාළ අධ්‍යක්ෂවරයා පත් කිරීමෙන් වසරකට නො අඩු කාලයක් තුළ දී මුදල් මණ්ඩලය මගින් අනුමත කර ඇති ඇපයක් ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

    (iv)බැංකුවක අධ්‍යක්ෂවරයෙකු බැංකුව විසින් ලබා දෙන ණය පහසුකමක් සම්බන්ධ ව කවර ආකාරයක හෝ සෘජු හෝ වක්‍ර ලෙස බැඳියාවක් දක්වන විටෙක, අදාළ අධ්‍යක්ෂවරයා විසින් එම බැඳියාවේ ස්වභාවය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හැකිතාක් ඉක්මනින් දන්වා සිටිය යුතු ය.

    (v)බැංකු අධ්‍යක්ෂවරයෙකු ඔහුට හෝ ඔහුගේ සමීපතම ඥාතියෙකුට හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ ව අධ්‍යක්ෂ මණ්ඩලයේ කරනු ලබන කිසිදු සාකච්ඡාවක් හෝ විචාරණයක් සඳහා සහභාගී නො විය යුතු අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර එකී ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ සාකච්ඡාවට හෝ විචාරණයට ගනු ලබන අවස්ථාවන්හි දී එම අධ්‍යක්ෂවරයා අදාළ රැස්වීමෙන් ඉවත් ව යා යුතු ය.

    (vi)බැංකුවක අධ්‍යක්ෂවරයෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකුගේ සමීපතම ඥාතියෙකු හට බැංකුව විසින් ණය පහසුකමක් ලබා දී ඇති විට ඒ බව, අදාළ මූල්‍ය වර්ෂයට අදාළ ගිණුම් වාර්තාවල අනාවරණ කළ යුතු අතර ඉන් මතුවට එම මුළු ණය මුදල ම ගෙවී යන තුරු හෝ පියවා දමන තෙක් සෑම මූල්‍ය වර්ෂයක ම වාර්ෂික ගිණුම් වාර්තාවන්හි අනාවරණය කළ යුතු ය.

    (vii)මුදල් මණ්ඩලයේ පූර්ව අවසරයකින් තොර ව බැංකුවක අධ්‍යක්ෂවරයෙකු හෝ ඔහුගේ සමීපතම ඥාතියෙකු හෝ ඔහු විසින් සැලකිය යුතු බැඳියාවක් දක්වනු ලබන ව්‍යාපාරයක් හට ලබා දී ඇති කිසිදු ණය පහසුකමක් කපා නො හැරිය යුතු ය.

    (viii)ආයතනික යහපාලනය  පිළිබඳ බැංකු පනත් විධානයට අනුව බැංකුව විසින් බැංකුව හා “සම්බන්ධිත පාර්ශ්ව” සමඟ ගනුදෙනු කිරීමේ දී අදාළ පාර්ශ්වයන් හට ඊට සමාන ගනුදෙනු සිදු කරනු ලබන අනෙකුත් ගනුදෙනුකරුවන්ට වඩා වැඩි “වාසිදායක සැලකිල්ලක්” සිදු නො වන ආකාරයෙන් සිදු කිරීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වගබලා ගත යුතු ය.

    ඉහත සඳහන් කළ කරුණුවලට අමතර ව, සියලු ම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල විසින් ඒ ඒ බැංකුවේ ප්‍රමාණය, ස්වභාවය සහ සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් අතිරේක අවදානම් කළමනාකරණ විධික්‍රම යොදා ගැනීමට කටයුතු කළ යුතු වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය සුපරීක්ෂණ භූමිකාව තුළ මූල්‍ය පද්ධතියේ තිරසාරත්වය, ආයතනික යහපාලනය, අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන විධි සම්බන්ධ ව අවධානය යොමු කරන අතර මෙහි දී ඉහත සඳහන් කළ අධ්‍යක්ෂවරුන් හෝ ඔවුන්ට සෘජු හෝ වක්‍ර ලෙස බැඳියාවක් ඇති ව්‍යාපාරයන්ට ණය ලබාදීම් ද ඇතුළත් වේ. මෙකී කාරණා සම්බන්ධ ව බැංකු විසින් අනුකූල නො වන අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උචිත නියාමන ක්‍රියාමාර්ග ගනු ලබන අතර අදාළ බැංකු එකී අවශ්‍යතා හා අනුගත වන තෙක් ඒ පිළිබඳ පසුවිපරම් කිරීමටත් අවශ්‍ය අවස්ථාවන්හි දී නියාමන සීමා පැනවීමටත් කටයුතු කෙරේ.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තහවුරු කිරීම සහ තැන්පතුකරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ  හිමිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් බැංකු පනත සහ අනෙකුත් අදාළ විධිවිධානයන්ට අනුකූල ව, බැංකු සිය ව්‍යාපාර කටයුතු මූල්‍ය ස්ථායිභාවයකින් හා ශක්තිමත් ව පවත්වා ගෙන යෑම තහවුරු  කිරීම සඳහා අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවා ඇත.

    - ශ්‍රී ලංකා මහ බැංකුව

     

    මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම සහ වෝක(ර්)ස් සමාගම් සමූහය වෙත මූල්‍ය පහසුකම් සැපයීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම

    එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම 2002 වසරේ සිටම මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙකි. එම වසරේ සිට මේ දක්වා එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම කළින් කළ මහජන බැංකුවෙන් ණය පහසුකම් ලබා ගෙන ඇති අතර එසේ ලබා ගෙන ඇති ණය නිසි පරිදි ආපසු ගෙවීම් කර පියවා ඇත.

    මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමට ණය ලබා දී ඇත්තේ එම සමාගම විසින් මහජන බැංකුවෙන් ලබා ගත් ණය යොදවා ඇති ව්‍යාපෘති පිළිබඳ නිසි ඇගයීමකින් අනතුරුව ය. ණය ලබා දීමේ ප්‍රමාණය සඳහා පදනම් වී ඇත්තේ එම සමාගමේ ව්‍යාපාර පරිමාව සහ එම සමාගම සතු ණය ආපසු ගෙවීමේ හැකියාව ආදිය සළකා බැලීමෙනි.

    බැංකුවක් විසින් ස්වාභාවික පුද්ගලයෙකු වෙත හෝ නෛතික පුද්ගලයෙකු, එනම් සමාගමක්, වෙත හෝ ණය ලබා දීම සිදු කරනු ලබයි. මෙලෙස සමාගමකට ණය ලබා ගැනීම සඳහා එයට නෛතිකභාවයක් ලබා දීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රටක් තුළ ව්‍යාපාර ප්‍රවර්ධනයන් ඇති කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමයි. සමාගමක් වෙනම නෛතික පුද්ගලයෙකු වන නිසා එම සමාගම හා එහි අධ්‍යක්ෂකවරු නීතිය ඉදිරියේ වෙන වෙනම පුද්ගලයින් සේ සැළකේ. එනම් එහි අධ්‍යක්ෂකවරු ඉන් පරිබාහිර වූවකි.

    තවද, මහජන බැංකුව විසින් රුපියල් බිලියන දහයක ණය මුදල ප්‍රදානය කර ඇත්තේ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමට පමණක් නොව වෝක(ර්)ස් සමාගම් සමුහයට (group of companies) ය. එහෙයින්, බැංකුව විසින් අදාළ ණය මුදල ප්‍රදානය කර ඇත්තේ එම සමාගම් සමුහයට මිස ජෙහාන් අමරතුංග මහතාට නොවේ. ඔහු එහි සමාගම් අධ්‍යක්ෂවරයෙකු පමණි. ඒ අනුව මෙහිදී, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම නීතිය ඉදිරියේ වෙනම නෛතික පුද්ගලයකු ලෙස සැලකෙන අතර එම සමාගම් සමුහය ජෙහාන් අමරතුංග මහතාගෙන් වෙන් කොට සැලකිය යුතුය.

    එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම නීතිය ඉදිරියේ වෙනත් නෛතික පුද්ගලයෙකු ලෙස සැළකෙන බැවින් එම සමාගම ජෙහාන් අමරතුංග මහතාගෙන් වෙන් කොට සැලකිය යුතුය. එහෙයින්, මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත කිසියම් ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී, එම සමාගමේ කිසිදු අධ්‍යක්ෂකවරයෙකුගේ ණය ගෙවීමේ හැකියාව සොයා බැලීම බැංකුවට අදාළ කරුණක් නොවේ.

    මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ජෙහාන් අමරතුංග මහතා මහජන බැංකුවට අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් එක් වන්නේ 2010 වසරේ දී ය. එකල මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලද්දේ ඩබ්ලිව්. කරුණාජීව මහතා ය.

    ජෙහාන් අමරතුංග මහතා එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත් වන්නේ 2012 වසරේදීය. නමුත්, ඉහත සදහන් කළ පරිදි මහජන බැංකුව සහ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම අතර ව්‍යාපාර සම්බන්ධතාවය ඊට පෙර, එනම් 2002 වසරේ සිට පැවත එන්නකි.

    එබැවින් මහජන බැංකුව විසින් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ණය ප්‍රදානය සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ස්වාධීනව ඇගයීමට ලක් කිරීමත්, එසේ ලබා දෙන ණය පහසුකම් එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම විසින් නිසි පරිදි, පොලී මුදල් ද සමඟ යළි ආපසු ගෙවීම් කිරීමත් ආදී කරුණු සළකා බැලීමෙනි.

    ඉහත සඳහන් කළ පරිදි මහජන බැංකුව විසින් යම් සමාගමක ව්‍යාපාර කටයුතු ස්වාධීනව ඇගයීමේ ප්‍රධාන කාර්යයක් වන්නේ ණය ලබා දීමේදී අදාළ වන සියලුම ණය ප්‍රමිතීන්, අනෙකුත් සියලූම ගනුදෙනුකරුවන් සේම, අදාළ සමාගම විසින් ද සපුරා ඇති බවට තහවුරු කර ගැනීමයි.

    මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද රෙගුලාසි සහ අනෙකුත් සියලූම අවශ්‍යතා මහජන බැංකුව විසින් අනුගමනය කර ඇති බව තහවුරු කර සිටිමු. මීට අමතරව ජෙහාන් අමරතුංග මහතා විසින් මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ, අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ණය පහසුකම් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද රෙගුලාසි සහ අනෙකුත් සියලූම අවශ්‍යතා සපුරාලමින් බව ද තහවුරු කර සිටිමු.

    සාමාන්‍යයෙන් සමාගම් සඳහා ඉදිරිපත් කෙරෙන ණය යෝජනා සඳහා අධ්‍යක්ෂ විධායක ණය කමිටුවේ අනුමැතිය ප්‍රමාණවත් වුවත් ඉහත දැක්වුණු ආකාරයේ විශේෂ අවස්ථාවලදී ශ්‍රී ලංකා මහ බැංකු රෙගුලාසි වල එක වැදගත් රෙගුලාසියක් වන්නේ අදාළ ණය යෝජනා සඳහා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි.

    ඒ අනුව, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙනුවෙන් ප්‍රදානය කර ඇති ණය මුදලට අදාළ ණය යෝජනාව සඳහා ද නිසි පරිදි අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. එසේම, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම් සමුහයට මෙම ණය ප්‍රදානය කර ඇත්තේ එම සමාගම් සමුහයටම අදාළ සියලු ව්‍යාපෘති පිලිබඳ ස්වාධීන ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුවය. වෝක(ර්)ස් සමාගම් සමූහය විවිධ ව්‍යාපාර කටයුතු වල නිරත වන අතර එම සෑම ව්‍යාපාරයකම ශක්‍යතාවය ඇගයීමෙන් අනතුරුව පමණක් මහජන බැංකුව විසින් ණය ලබා දීම සිදු කර ඇත.

    කෙසේ නමුත්, එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම් සමූහය වෙනුවෙන් ප්‍රදානය කර ඇති ණය මුදල අනුමත කිරීම සම්බන්ධයෙන් ජෙහාන් අමරතුංග මහතා මහජන බැංකුව වෙත කිසි ලෙසකින්වත් බලපෑමක් නොකළ බව අවධාරණය කර සිටිමු. මෙවන් වාතාවරණයක් තුළ ඉහත ණය මුදල අනුමත කිරීම මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අදාල නිර්දේශ වලට අනුකූලව ස්වාධීනව සිදු කෙරුණු එකක් බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

    බැංකු අධ්‍යක්ෂකවරයෙකුට හෝ ඔහු අධ්‍යක්ෂක ධුරය දරන වෙනත් සමාගමකට, අදාළ බැංකුවෙන් ණය ලබා ගැනීම තහනම් කෙරෙන රෙගුලාසියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කොට නොමැත. එහෙයින්, මහජන බැංකුවට පමණක් නොව වෙනත් ඕනෑම බැංකුවකට එම බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු වෙත ණය ප්‍රදානය කිරීමේ හැකියාවක් පවතී. එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ රෙගුලාසි අනුගමනය කර තිබිය යුතු අතර බැංකු අධ්‍යක්ෂකවරයෙකුට හෝ ඔහු අධ්‍යක්ෂක ධුරය දරන සමාගමකට, එම බැංකුවෙන්ම ණය ලබා දීමේ දී එසේ අනුගමනය කළ යුතු නීතිරීති මහබැංකුව විසින්ම සම්පාදනය කර ඇත.

    ඉහත කරුණු සැළකීමේදී මහජන බැංකුව විසින් ඉහත ණය මුදල එම්. ටී. ඩී. වෝක(ර්)ස් සමාගම වෙත ප්‍රදානය කිරීමේදී අදාළ ණය ලබා දීමේ ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර ඇති අතර ශ්‍රී ලංකා මහා බැංකු රෙගුලාසි මෙන්ම යහපාලන ප්‍රතිපත්ති ද අනුගමනය කර ඇති බව අවධාරණය කර සිටිමු.

    එසේම, ඉහත සමාගම ලබා ගත් ණය පහසුකම් නැවත ගෙවීමේ ක්‍රියාපටිපාටිය සතුටුදායක ලෙස සිදු වෙමින් පවතින බව ද ප්‍රකාශ කළ යුතුය.

    හේමසිරි ප්‍රනාන්දු
    මහජන බැංකුව