October, 8, 2020
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මහජන ඒකරාශීවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව යමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක්, කලින් සැලසුම් කරන ලද වාර්ෂික මහා සභා රැස්වීම් (Annual General Meetings) දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම අද (08) දින නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2020 ඔක්තෝබර් 14 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ, ලෝටස් හෝල් හි පැවැත්වීමට කටයුතු යොදා තිබූ වාර්ෂික මහා සභා රැස්වීම කල්දැමීමට කටයුතු කර ඇති බවයි. මහා සභා රැස්වීම පැවැත්වෙන නව දිනය ඉදිරියේ දී නිවේදනය කරනු ලබන බව සමාගම් ලේකම්වරිය වන ලක්මිණි කෝට්ටේගොඩ වැඩිදුරටත් මෙහිදී කියා සිටී.
තවත් ලැයිස්තුගත සමාගමක් වන York Arcade Holdings PLC නිවේදනයක් නිකුත් කරමින්, 2020 ඔක්තෝබර් 09 දින කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබූ වාර්ෂික මහා සභා රැස්වීම 2020 නොවැම්බර් 20 දිනට කල්දමා ඇති බව දැනුම් දී ඇත.
මේ අතර මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පවසන්නේ 2020 ඔක්තෝබර් 14 දින පෙරවරු 10.00 ට කොටස්කරුවන්ගේ භෞතික සහභාගීත්වයකින් තොරව ඔන්ලයින් මාර්ගයෙන් වාර්ෂික මහා සභා රැස්වීම පවත්වනු ලබන බවයි.
එසේම ON'ALLY HOLDINGS PLC සමාගම 2020 ඔක්තෝබර් 20 දින සිය වාර්ෂික මහා සභා රැස්වීම ඔන්ලයින් මාර්ගයෙන් පවත්වනු ලබන බව දැනුම් දී සිටී.
ලැයිස්තුගත බැංකු සමාගමක් වන සෙලාන් බැංකුව 2020 ඔක්තෝබර් 13 දින පැවැත්වීමට සැලසුම් කර තිබූ අතිවිශේෂ මහා සභා රැස්වීම කල්දමා ඇත.
LAUGFS Gas PLC හා LAUGFS Power PLC සමාගම් 2020 ඔක්තෝබර් 29 දින ZOOM platform ඔස්සේ මහා සභා රැස්වීම් ඔන්ලයින් මාර්ගයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Video Story