මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

    March, 18, 2015

    වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර පවසා තිබෙන්නේ උද්ධමනය ඉදිරියේදීත් අඩුමට්ටමක පවතිනු ඇති බවත් පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය සහ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් තිබෙන බවයි.

    පසුගිය දෙසැම්බර් මාසයේදී පුද්ගලික අංශය ලබාගෙන තිබූ ණය රුපියල් බිලියන 76 දක්වා වර්ධනය වී තිබුණත් එය පසුගිය ජනවාරි වනවිට රුපියල් බිලියන 21 ක් දක්වා පහළ වැටුණු බව මහ බැංකුව පවසා තිබේ.

    කෙසේවෙතත්, බැංකු ක්‍රමයෙන් පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය ඉදිරියේදීත් ඉහළ මට්ටමක පවතිනු ඇති බවත් පොලී අනුපාතය අඩුවීම සහ ව්‍යාපාරික විශ්වාසය වර්ධනය වීම එයට හේතුව බවත් බැංකුව සඳහන් කර ඇත.

    අඩු පොලී පරිසරය ඉදිරියටත් පවතිනු ඇති බවත් උද්ධමනය අඩුවීම මගින් එයට සහයෝගය ලැබෙන බවත් සඳහන්ය.

    කෙසේවෙතත්, රාජ්‍ය ආයතන සහ මධ්‍යම රජය විසින් බැංකු අංශය වෙතින් ලබාගත් ණය පිළිබඳව මහ බැංකුව මෙවර සඳහන් නොකිරීම කැපී පෙනෙන කාරණාවකි.

    මෙරට ආර්ථිකය 2014 වසරේදී සියයට 7.4 කින් වර්ධනය වූ අතර 2013 දී වර්ධනය වී තිබුණේ සියයට 7.2 කිනි.