මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

    August, 15, 2014

    පවතින ආර්ථික කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට හේතුවන පොලී අනුපාත මේ අගෝස්තු මාසයේදී වෙනස් නොකිරීමට තීරණය කරයි.

    මේ අනුව, මහ බැංකුව පවසා තිබෙන්නේ සිය ප්‍රතිපත්ති පොලී අනුපාත (Policy Interest rates) අගෝස්තු මාසයේදී සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස තවදුරටත් නොවෙනස්ව පවතිනු ඇති බවයි.

    පවතින අයහපත් දේශගුණික තත්ත්වය නිසා ආහාර නිෂ්පාදනවල අඩුවීම පසුගිය ජූලි මාසයේදී මෙරට උද්ධමනය සියයට 3.6 ක් දක්වා වර්ධනය වීමට හේතුවූ බවත් එය ක්‍රමයෙන් යථාත්ත්වයට පත්වනු ඇති බවත් මහ බැංකුව පවසයි.

    මුදල් මණ්ඩලය විසින් පසුගිය කාලයේදී ගත් ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් වෙළඳ පොළ පොලී අනුපාතයන් අඛණ්ඩව පහත වැටෙමින් තිබෙන බව බැංකුව සඳහන් කරන අතර නිවාස ණය වැනි දිගුකාලීන ණයවල පොලී අනුපාතද පහත වැටී තිබෙන බව සඳහන්ය.

    විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඉපයීම් වර්ධනය වී තිබෙන බවත් විදේශ සංචිතය ඩොලර් බිලියන 9.2 ක් දක්වා වාර්තාගත අගයකට ඉහළ ගොස් තිබෙන බවත් සඳහන්ය.