මහ බැංකුවේ මැදිහත් වීම අඩු නිසා විනිමය උච්ඡාවචනය වැඩිවෙලා – අවශ්‍ය නම් මැදිහත් වෙනවා

    April, 27, 2018

    විදේශ විනිමය අනුපාත තීරණය වීම වෙළෙඳපොළ මත සිදුවන්නක් බවත්, පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම ඒ වෙනුවෙන් අඩුමට්ටමක පැවතීම නිසා, විනිමය උච්ඡාවචනය වැඩි වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඊයේ (26) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,
    “විදේශ විනිමය අනුපාතය පාලනය කිරීමේ දී 2017 මාර්තු - අප්‍රේල් මාසවලින් පසුව විදේශ විනිමය අනුපාතය තීරණය කිරීමේ දී මහ බැංකුවේ මැදිහත් වීමෙන් පුළුවන් තරම් අයින් වුණා. අපි මැදිහත් වුණේ සංචිත ගොඩනැංවීමේ අවස්ථාවට පමණයි. ඒ අනුව ඒ වගේ තත්ත්වයක් තුළත් යම්කිසි ආකාරයක විදේශ විනිමය වෙළෙඳපොළක් ඉතාම ස්ථාවර අකාරයකට හැසිරුණා කියලා අපි දැක්කා.“

    “විශේෂයෙන් වෙළෙඳපොළ තුළින් තීරණය කරන වෙළෙඳපොළ අනුපාතයන් තිබුණේ. පහුගිය දවස්වල විදේශ විනිමය අනුපාතයේ විචලනයක් දිගටම දක්නට ලැබුණා. ඒක වෙළෙඳපොළ මත ක්‍රියාත්මක වන විදේශ විනිමය වෙළෙඳපොළක දකින්න තියෙන ලක්ෂණයකි. කෙටිකාලීනව තියෙන ඉල්ලුම සැපයුම වෙනස්වීම මත ඉස්සරට වැඩිය වෙනස්වීම් වෙනවා. ඒක සාමාන්‍යයෙන් වන දෙයක්.“

    “නමුත් මහ බැංකුවේ මැදිහත්වීම අඩුවීම නිසා ඉස්සරට වඩා විචලනය වැඩියි. නමුත් අවශ්‍ය නම්, අවශ්‍ය ඕනෑම වේලාවක අපි හිතනවා නම් මේක වැඩියි කියලා, මේ ගැන මැදිහත් වෙලා, ඒ ගැන පාලනය කරනවා. මහ බැංකුවට අයිතියක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය කියලා හිතනෙවා නම්, මහ බැංකුව ඒ දේ කරනවා.“