මහ බැංකුව අනපේක්ෂිත ලෙස පොලිය අඩු කරයි

    April, 15, 2015

    රාජ්‍ය වියදම් පියවා ගැනීමට දේශීය වෙළඳ පොළින් රජය දැවැන්ත ලෙස ණය ගනිමින් සිටියත් මෙරට වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ අප්‍රේල් මාසයේදී අඩු කිරීමට මහ බැංකුව අනපේක්ෂිත ලෙස කටයුතු කර තිබේ.

    මේ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාත (policy interest rates) සියයට 0.5 කින් අඩු කිරීමට මහ බැංකුව කටයුතු කර තිබෙන අතර නව පොලී අනුපාත සියයට 06 ක් සහ සියයට 7.5 ක් දක්වා අඩුකර ඇත.

    මෙරට උද්ධමනය පසුගිය මාර්තු වනවිට සියයට 0.1 ක් දක්වා පහළ වැටුණු අතර පෙබරවාරි මාසයේදී උද්ධමනය තිබුණේ සියයට 0.6 ක් ලෙසයි.
    දේශීය වෙළඳ පොළේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් අලෙවිකර රජය සපයා ගන්නා ණය සීමාව වැඩිකර ගැනීමට රජය ගත් උත්සාහය පසුගියදා අසාර්ථක වීම හමුවේ භාණ්ඩාගාර බිල්පත් වලට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවීමට සිදුවන භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරමින් රජය ණය සම්පාදනය කර ගැනීමට යොමුවිය හැකිබව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

    භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමට වසරක් හෝ වසරකට අඩු කාලයක් යන නිසා මෙම බිල්පත් අලෙවි කිරීම මගින් සියයට 07 ක්, සියයට 7.5 ක් වැනි අඩු පොලී අනුපාතයකට ණය සම්පාදනය කර ගැනීමට හැකිය.