මාර්තු මාසයේ ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 520 ක්. 2012 න් පසු වැඩිම අගය

    May, 17, 2022

    ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීම සඳහා පසුගිය මාර්තු මාසයේ දී දරා ඇති වියදම ඩොලර් මිලියන 519.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.

    එහි සඳහන් පරිදි 2012 න් පසු ඉන්ධන ආනයනය සඳහා වැඩිම විදයමක් දරා ඇති මාසය වන්නේ 2022 මාර්තු මාසය යි.

    මෙහි ඇති විශේෂත්වය නම් 2022 මාර්තු මාසයේ දී බොරතෙල් ආනයනය නොකර තිබිය දී පවා මේ සා විශාල ඉන්ධන ආනයනික වියදමක් දැරීමට සිදුව තිබීමයි.

    මේ අනුව 2022 ජනවාරි - මාර්තු මුල් මාස 03 සඳහා ඉන්ධන ආනයනයට දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 1,412.3 කි. එය 2021 මුල් මාස 03 හි ඉන්ධන ආනයන වියදම වූ ඩොලර් මිලියන 977.2 ට වඩා 44.5% ක ඉහළ යාමක් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 මාර්තු මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරිත්ව වාර්තාවෙහි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    වසරකට පෙර පැවති අගය හා සැසදීමේ දී, අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2022 වසරේ මාර්තු මාසරේ දී සියයට 4.2කින් ඉහළ ගියේය. ඉන්ධන ආනයන ඉහළ යෑම මෙම ඉහළ යෑම සඳහා හේතු වූ අතර, වෙනත් බොහෝ් අන්තර්  භාණ්ඩයන්හි ආනයන වියදම පහළ යෑම මධ්‍යයේ මෙම ප්‍රතිඵලය වාර්තා  විය. මෙම වෙනත් අන්තර් භාණ්ඩ අතරට මූල ලෝහ (ප්‍රධාන වශයෙන්, යකඩ සහ වානේ) රසායනික නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, ඩයි වර්ග පඬු ගැන්වීමේ හා වර්ණ ගැන්වීමේ ද්‍රව්‍ය සහ අකාබනික රසායන ද්‍රව්‍ය), ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත, රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත, රථවාහන සහ යන්ත්‍රෝපකරණ කොටස් (ප්‍රධාන වශයෙන්, විද්‍යුත් යාන්ත්‍රික කොටස් සහ රථවාහන කොටස්) සහ රෙදිපිළි හා රෙදිපිළි උපාංග (ප්‍රධාන වශයෙන්, නූල්) ඇතුළත් විය.

    බොර තෙල් ආනයනය නොකළ ද, 2012 වසරේ මාර්තු මාසයට පසුව වාර්තා වූ ඉහළම ඉන්ධන ආනයන අගය වන එ.ජ. ඩොලර් මිලියන 520ක අගයක් වාර්තා කරමින්, ඉන්ධන (පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරු ඇතුළුව) ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 49.7කින් ඉහළ ගිය අතර, ඒ සඳහා ඉන්ධන ආනයන සාමාන්‍ය මිල ගණන් ඉහළ යෑම හේතු විය.