මාර්තු මාසයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    April, 17, 2018

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 55.6ක දර්ශක අගයට සාපේක්ෂ ව, මාර්තු මාසයේ දී මාස 12කින් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කරමින්, 65.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එය පසුගිය වසරවල පැවැති ප්‍රවණතාවන්ට ද අනුකූල විය.

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑම කෙරෙහි, නව ඇණවුම් සහ නිෂ්පාදන උපදර්ශකයන්හි ඉහළ යෑම මගින් ද පෙන්නුම් කළ පරිදි, උත්සව සමයේ ඇති වන ඉල්ලුමේ වර්ධනය හේතු විය.

    ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යෑම ද, සමස්ථ දර්ශකයේ ඉහළ යෑම සඳහා ධනාත්මක ව බලපෑවේ ය.

    කෙසේ වුව ද, බොහොමයක් ප්‍රතිචාර දක්වන්නන්, විශේෂයෙන් ම රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශයේ, පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීම අපහසු කටයුත්තක් බව සඳහන් කළේ ය. එසේ වුව ද, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උපදර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරමින්, 2018 මාර්තු මාසයේ දී සමස්තයක් ලෙස නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කළේ ය. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් බව පෙන්නුම් කරයි.