මාස 05කට පසු මෙල්බර්න් ගුවන්තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹෙයි. ශ්‍රීලංකන් යානයක් මුලින්ම ගොඩබසී

    December, 7, 2020

    ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා අද (07) දින සිට නැවත ආරම්භ කර තිබේ. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL604 යානය අද පෙරවරුවේ මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්වා ඇත. මෙය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානයයි.

    මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක SBS සිංහල පුවත් සේවය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඕස්ට්‍රේලියා - නවසීලන්ත භාර ව්‍යාපාර සංවර්ධන කළමනාකරු දිල්ෂාන් පිටවලගේ මහතා මෙසේ කියා සිටියේය.

    “කොවිඩ්-19 නිරෝධායන රෙගුලාසි ලිහිල් කළාට පසු මෙහෙට ගොඩබසින පළමු ජාත්‍යන්තර ගුවන් සේවය අපි තමයි. උදේ 7.48 ට මෙහෙට ගොඩබැස්සා. දැනට ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය අනුව යම් යම් සීමාවන්ට යටත්ව තමයි මගීන් මෙහෙට ගේන්න පුළුවන්. දැනට ගේන්න පුළුවන් 20-30 අතර ප්‍රමාණයක්. මෙය ඉදිරියේ දී වෙනස්වෙන්න පුළුවන්.“

    මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයද ඇතුළුව අද දිනයේ දී ජාත්‍යන්තර ගුවන්යානා 8 ක් මගින් මගීන් 253 දෙනෙකු මෙල්බර්න් වෙත පැමිණීමට නියමිතය.

    විදේශයන්ගෙන් පැමිණෙන මගීන් වික්ටෝරියා හි නවීකරණය කරන ලද හෝටල් නිරෝධායන පද්ධතියට සෘජුවම යොමු කෙරෙනු ඇත. පසුගිය දින 38 ක කාලපරිච්ඡේදය තුළ දී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු හමු වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.