මාස 06ක සහන කාලය නොලැබුණා නම් මහ බැංකුවට පැමිණිලි කරන්න – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    October, 20, 2020

    කොවිඩ්-19 වසංගත කාලයේදී රජය විසින් ලබාදීමට පොරොන්දු වූ මාස 06ක සහන කාලය නොලැබුණු මූල්ය පහසුකම් ලබා ගත් පාරිභෝගිකයන්ට ඊට අදාල පැමිණිලි ශ්රී ලංකා මහ බැංකුවේ මූල්ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “සියලුම බලපතලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් කොවිඩ්-19 මගින් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ  පුද්ගලයන් හට සහාය වීමට ලබා දුන් සහනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ චක්‍රලේඛනයට අනුගත වෙමින් ව්‍යාපාර සහ පුද්ගලයින් විශාල පිරිසකට සහන ලබා දී ඇති අතර එම සියලු ගනුදෙනුකරුවන්ගේ ලේඛන අදාළ බලපත්‍රලාභී ආයතන සතුව ඇත.“

    “මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛන අනුව මෙම සහන ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති ගනුදෙනුකරුවන් අදාළ මූල්‍ය ආයතන වෙත තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට නිශ්චිත කාලසීමාවක් ලබා දෙන ලදී.  එම කාලසීමාව තුළ ඉල්ලීම් කළ සුදුසුකම් ඇති ගනුදෙනුකරුවන් හට එම සහන ලබා දීමට අදාළ මූල්‍ය ආයතනවලට මහ බැංකුව නියෝග directions ලබා දී ඇත. එහෙයින් එම සහන ගනුදෙනුකරුවන්ට ලැබුණු බවට වාර්තා වේ.“

    “සපයා ඇති සහන ලබා ගැනීමේ දී අසාධාරණයට ලක්ව ඇති ගනුදෙනුකරුවන්ට සිය පැමිණිලි, දුක්ගැනවිලි සහ ඉල්ලීම් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත බාහිර පාර්ශවයන් විසින් යොමුකරන දුක්ගැනවිලි සහ පැමිණිලි පිළිබඳව සොයා බැලීම සඳහා 2020 අගෝස්තු 10 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත කර ඇති ‘මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව‘ ට ඉදිරිපත් කළ හැකිය.“

    “ඊට අමතරව එක් එක් ගනුදෙනුකරුවන් සහ මූල්‍ය ආයතන අතර ඇති පැමිණිලි සහ ආරවුල් විභාග කිරීමට සහ විසඳීමට බලය ඇති මූල්‍ය ඔම්බුඩ්ස්මන් වෙතද අදාළ ගනුදෙනුකරුවන්ට තම පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.“