මාස 10 කදී කොටස් වෙළෙඳපොළ 50% කින් ඉහළට

    October, 29, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම වාර්තාව නැවත වරක් අලුත් කරමින් මෙතෙක් ඉතිහාසයේ වැඩිම අගය අද (29) දින වාර්තා විය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,162.93 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 25.08 ක් හෙවත් 0.25% ක ඉහළ යාමක් වේ.

    මේ අතර S&P SL20 දර්ශකය ද ඉතිහාසයේ ඉහළම අගය සනිටුහන් කිරීමට අද දිනයේ දී සමත් වූයේ දිනය අවසානයේ දී ඒකක 3,708.52 ක් දක්වා ඉහළ යාමත් සමඟිනි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වාර්තා සඳහන් කරන පරිදි 2021 මුල් මාස 10 තුළ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව 50.02 කින් හා S&P SL20 දර්ශකයට අනුව 40.58% කින් කොටස් වෙළෙඳපොළ වර්ධනය වී ඇත.

    අද දින පිරිවැටුම රු. බිලියන 4.93 ක් ලෙසින් සටහන් වූ අතර එයින් රු. බිලියන 4.90 ක්ම දේශීය මිල දී ගැනීම්වලින් සමන්විත විය. එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 29.10 ක් තරම් කුඩා මට්ටමක පැවතුණි. තවද දේශීය විකුණුම් රු. බිලියන 4.50 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 432.25 ක් ලෙසින් වාර්තා විය. ඒ අනුව මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම පාහේ දේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය මත ක්‍රියාකාරී වන ආකාරය මැනැවින් දක්නට ලැබේ.

    අද දිනට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 4,529.29 කි. එම වටිනාකම මෙම වසර තුළ දී 52.98% කින් වර්ධනය වී ඇත.