මාස 9 කදී ශ්‍රීලංකන් අලාභය රු. බිලියන 40 ක් දක්වා ඉහළට

    January, 23, 2019

    2018 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, රුපියල් බිලියන 40 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

    2017 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රීලංකන් ගුවන්සේවය වාර්තා කර තිබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 11 ක් ලෙසින් එහි සටහන් වන අතර මේ අනුව 2018 මාස 09 ක කාලපරිච්ඡේදය තුළ සමාගමේ අලාභය, පූර්ව කාලපරිච්ඡේදයට සාපේක්ෂව 263% කින් ඉහළ ගොස් ඇත.

    මේ සම්බන්ධයෙන් සමාගම කියා සිටින්නේ අදාළ කාලපරිච්ඡේදය තුළ දී ඉන්ධන මිල ඉහළ යාම, ඉහළ පොළී වියදම් හා විනිමය අවප්‍රමාණය වීම යනා දී කරුණු මීට හේතු වී ඇති බවයි. ඉහළ ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙම කාලපරිච්ඡේදය තුළ දී පෙර වසරට වඩා 15%කින් වැඩි වී ඇති අතර එය රුපියල් බිලියන 147 ක් ලෙසින් සටහන් වේ.

    මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රීලංකන් ගුවන්සේවය ප්‍රධාන ගුවන්යානා මෙහෙයුම් කටයුතුවලින් ලද ආදායම රුපියල් බිලියන 120 ක් දක්වා 8% ක වර්ධනයක් වාර්තා කර ඇත.

    මේ අතර පසුගිය දා දෙරණ 360 වැඩසටහන සමඟ එක්වූ මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කියා සිටියේ, ශ්‍රීලංකන් ගුවන්සේවය ලාභ ලබන තත්ත්වයට පත්කරලීමට නම් අනිවාර්යයෙන්ම හැරී ජයවර්ධන මහතා එහි සභාපති ධූරයට පත් කළ යුතු බවයි.

     

    ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09 ක කාලපරිච්ඡේදය තුළ එහි කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ  නංවා ගැනීමට සමත්වී තිබේ.

    ඒ අනුව ගුවන් යානා යෙදවීම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ආදායම, වෙළඳ පොළ ආදායම සහ ඒකක පිරිවැය යනාදියෙහි සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරන ලදී. ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම, දේශීය හා කලාපීය රටවල මුදල් වේගවත් ලෙස අවප්‍රමාණය වීම සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් 2018 වසරේ ගුවන් සමාගමට ඉතා අභියෝගාත්මක වසරක් විය. කෙසේවෙතත්, එම අහිතකර බාහිර සාධකවල බලපෑම් හමුවේ වුවද ඵලදායී ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරමින්  ගුවන් සමාගම විසින් විශාල ආදායමක් පෙන්නුම් කළේය.

    මෙම කාල පරිච්ජේදය තුළ ප්‍රධාන ගුවන් සේවා මෙහෙයුම් වලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශුද්ධ ප්‍රවාහන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 746 (රුපියල් බිලියන 120) දක්වා වර්ධනය වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වර්ධනයකි. නිසි අයුරින් ඵලදායි ලෙස ගුවන් යානා මෙහෙයුම් සඳහා යෙදවීම, ගුවන් ගමන් වාර ක්‍රමවත්ව හා නිවැරදිව ගුවන් යානා , මෙහෙයුම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත ආසන ධාරිතාව (Available Seat Kilometers)  6.5% වැඩිදියුණු විය.

    වෙළඳපොළ ප්‍රවනතාව පදනම් කර ගුවන් යානා යෙදවීම සහ ගුවන් ගමන් වාර ඵලදායී හා කාලෝචිත ලෙස කළමනාකරණය කිරීම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් තරඟකාරී වාතාවරණය මධ්‍යයේ ආදායම වැඩිදියුණු කරගෙන තිබේ. විශේෂ කාලසීමාවේ දී ලන්ඩන්, මෙල්බන්, ඩුබායි, අබුඩාබි, දෝහා සහ  දිල්ලිය  වැනි වෙළඳපොළවල් සඳහා ගුවන් ගමන් වාර වැඩි කිරීම නිසා එම මාර්ගවල කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති හෙයින් එය කාර්යක්ෂම සහ සාර්ථක උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් බවට බවට පත්විය.

    ගුවන් සමාගම සංචාරක ව්‍යාපාරය වර්ධනය සඳහා සිය කැපවීම නැවත තහවුරු කරමින් ඔස්ට්‍රේලියාවේ  මෙල්බර්න් නුවර වෙත  දිනපතා සෘජු ගුවන් ගමන්  ආරම්භ කිරීමට කටයුතු කලේය. ඕස්ට්‍රේලියාව 2018  වසරේ දී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන ගමනාන්ත අතරින් 5 වැනි ස්ථානයට පත්වීමට එය හේතු විය. සත්‍ය  වශයෙන්ම, මෙල්බර්න් වෙත ශ්‍රීලංකන් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසු පළමු මාස ​​12 තුළ ඕස්ට්‍රේලියානු සංචාරකයින්ගේ පැමිණීම  36% කින් වර්ධනයක් පෙන්නුම් කළේය.

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි අන්තර්ජාල සෘජු විකුණුම් මාර්ග ජාලය වන www.srilankan.com  වෙබ් අඩවිය මගින් සමස්ත ජාලයේ මගී ආදායමෙන් 14% ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. මෙමගින් පෙන්නුම් කරනුයේ සම්ප්‍රදායික විකුණුම් ක්‍රම වලින් බැහැරව නව විකුණුම් ක්‍රම භාවිත කිරීම තුළින් අඩු පිරිවැයක් තුළින් අදායම ඉහළ නැංවීමට ගුවන් සමාගමට හැකි වී ඇති බවයි. එමෙන්ම ගුවන් සමාගම විසින් වසර දෙකක් තුළ අන්තර්ජාලයේ සෘජු විකුණුම් දායකත්වය දෙගුණ කිරීමට බලාපොරොත්තු වේ.

    මෙම කාල පරිච්ජේදය තුළ මූලික මුදල් විනිමය අනුපාතිකයන් අවප්‍රමාණය නොවුනානම් මගී ආදායම  ඩොලර් මිලියන 9 ක‍් වැඩි වීමේ හැකියාව පැවතිණි.

    අදාල මාස නවය තුළ සමාගම ගෙන යන ලද මුළු මගීන් සංඛ්‍යාවෙන් (0.3%) ක සුළු ප්‍රමාණයේ අඩු වීමක් තිබුණද, සමස්ත ආසන සාධකය  අනුව (network-wide seat occupation) යොදවා ඇති ධාරිතාවේ ප්‍රතිශතය 82% කි. ආදායම්  මගී කිලෝ මීටරයක් සඳහා ගුවන් මගී අදායම පසුගිය වසරට වඩා 1.6% කින් වැඩි විය. ගුවන්යානා කර්මාන්තයේ අභියෝගාත්මක සාධකයක්  ලෙස සලකන සමස්ත ආසන සාධකය (network-wide seat occupation)  පිරිහීමකින් තොරව වෙළඳපොළේ ආදායම වැඩිදියුණු කිරීම සහ  ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ඵලදායී මිල ගණන් ක්‍රියාත්මක කිරීම තුළින් ඉන්ධන සඳහා වැයවෙන අධික වියදම අවම කිරීමට සඳහා ඉවහල් වී තිබේ.

    කෙසේවෙතත්, මෙම කාලපරිච්චේදය තුළ ඉන්ධන මිල ඉහළ යාමෙන් මෙහෙයුම් පිරිවැය වැඩිවීම හේතුවෙන් අත්පත් කරගන්නා ලද ඉලක්කයන් යටපත්විය. සමස්ත මෙහෙයුම් පිරිවැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 902 ක (රුපියල් බිලියන 147)  පසුගිය වසරට සාපේක්ෂව 15% ක වැඩිවීමකි. ගුවන් යානා ඉන්ධන මිල වැඩිවීම නිසා ඇති වූ බලපෑම් ඇමරිකානු ඩොලර් මිලියන 66 ක් විය. තවද A321Neo ගුවන් යානා එකතු කිරීම නිසා ගුවන් යානා නඩත්තු පිරිවැය හා ගුවන්යානා ලීසිං වියදම වැඩිවීමක් මෙම කාලය තුළ  වාර්තා විය.

    ගෙවීම් බොහොමයක් ඇමරිකානු ඩොලර් මුදල් ඒකක මගින් සිදු කිරීම හේතුවෙන් සහ 2018 වසරේ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම නිසා මෙහෙයුම් පිරිවැය අපේක්ෂා කළ අගයට වඩා ඉහළ ගියේය. අවසන් වූ මාස නවය සඳහා වූ පොලී වියදම ඇමරිකානු ඩොලර් මිලියන 47 ක් වූ අතර ගුවන් යානා සම්බන්ධ ගෙවීම් සඳහා පැනවූ  රඳවාගැනීමේ බදුවල (Withholding Taxes on aircraft related payments)  ඍණාත්මක බලපෑම ඇමරිකානු ඩොලර් මිලියන 23 ක් වන අතර, එය ධනාත්මක ප්‍රතිඵල වලට අහිතකර ලෙස බලපාන ලදී.

    ගුවන් යානා සම්බන්ධ ගෙවීම් සඳහා පැනවූ  රඳවාගැනීමේ බදු වලින් ශ්‍රීලංකන් එයාර්ලයින්ස්  නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය දැනට කටයුතු සළසමින් ඇත. පාලනය කළ හැකි පිරිවැය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට ගුවන් සමාගමේ කැපවීම මැනවින් විදහා දක්වමින් අතර එය පසුගිය වසරට සාපේක්ෂව වාණිජ හා පරිපාලනය වැනි අනෙකුත් අංශයන්හි පොදු වියදම් අඩු කිරීමකි. ඉන්ධන හා පොලී පිරිවැය හැරුණු විට පවත්නා ආසන කිලෝමීටරයක් ​​සඳහා පිරිවැය (Cost per Available Seat Kilometer – CASK)  3% කින් අඩු විය.

    කෙසේවෙතත්, අවසන් මාස නවය සඳහා වූ ශුද්ධ අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 135 (රුපියල් බිලියන 40) වූ අතර පසුගිය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය සඳහා වූ අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 66 කි. (රුපියල් බිලියන 11)

    ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි කළමණාකාරීත්වය  ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් රජය වෙත ඉදිරිපත් කර ඇති අතර එමගින්  ඉදිරි වසර 3 ක කාල සීමාව තුළ ගුවන් සේවය ක්‍රමවත්ව නගාසිටුවීම පිළිබඳ අවධානය යොමු කරන ලදී. වියදම අවම කිරීම හා ආදායම වැඩි කිරීම, අධි ඉන්ධන සැකසුම් ගාස්තු සහ විවිධ වියදම් අවම කර ගැනීම  වැනි කළමනාකරණය විසින් හඳුනාගෙන ඇති සැලැස්ම මේ වන විට රජය වෙත ඉදිරිපත් කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ 2019 වසර ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකිරීමේ වර්ෂය වනු ඇති අතර 2018 වසරේ දෙවන භාගය තුළ කළමණාකරණ ක්‍රියාකාරකම් ධනාත්මක ප්‍රතිඵල පෙන්වීමට අපේක්ෂා කරන බවයි. ඵලදායී ධාරිතාවක් යෙදවීම තුළින් ආදායම් වැඩිදියුණු කිරීම සහ  ගුවන් ගමන් තිරසාර මූල්‍ය ශක්‍යතාවය කරා යොමු කර වියදම් අඩු කිරීමේ උපාය මාර්ගික ක්‍රියාමාර්ග ගැනීමට කළමනාකාරිත්වය අඛණ්ඩව අවධානය යොමු කරනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.