මැණික් ව්‍යාපාරික හා පතල්කරුවන්ගේ ගැටලු ජනපතිගේ අවධානයට

    December, 14, 2017

    මැණික් ව්‍යාපාරිකයින්ගේ හා මැණික් පතල්කරුවන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    මැණික් ව්‍යාපාරිකයින් සහ මැණික් පතල්කරුවන් සිය කටයුතු කරගෙන යාමේදී මුහුණදී ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි.

    නීත්‍යානුකූල බලපත‍්‍ර සහිත මැණික් පතල් කැණීමේ කටයුතුවලදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නොවන පිරිස් පතල් පරිශ‍්‍රවලට කඩාවැදී බලපත‍්‍ර පරික්ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීම් හේතුකොටගෙන මතුව ඇති අපහසුතාවය පිළිබඳ මෙහිදී ඔවුන් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළ අතර, ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේ මැණික් පතල් වැටලීමේදී මැණික් සංස්ථාවේ නිලධාරින් සමග පමණක් අදාළ වැටලීම් සිදුකරන ලෙසයි.

    එහිදී නීත්‍යානුකූලව එම කටයුතුවල නිරතවන පිරිස්වලට බාධාවක් ඇතිනොවන අයුරින් එම පරික්ෂා කිරීම් සිදුකළයුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    එමෙන්ම උදෑසන 6.00 සිට ප.ව 6.00 දක්වා පමණක් පතල් කැණීම් සිදුකරන ලෙස දැන්වීම නිසා කර්මාන්තය පවත්වාගෙන යාමේදී දුෂ්කරතා මතුව ඇති බව කර්මාන්තකරුවෝ පෙන්වා දුන්හ. පතල්වල වතුර ඉසීම අලුයම 2.00ට පමණ ආරම්භ කළ යුතුව ඇති අතර, පතල්වල දෝනා කඩාවැටීම් නැවැත්වීමට දිවා රාත්‍රී නඩත්තු කටයුතු සිදුකළ යුතු බව ද පෙන්වා දීමෙන් අනතුරුව මේ පිළිබඳ පනවා ඇති නීතිය ඉවත් කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙන ලදී.

    එමෙන්ම පතල් බලපත‍්‍ර නිකුත් කිරීම ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව ද මොවුන් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර, බලපත‍්‍ර නිකුත් කිරීමේදී විධිමත් මෙන්ම කාර්යක්ෂම වැඩපිළිවෙළක් අනුගමනය කිරීමටත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහ අදාළ අනිකුත් ආයතනවල අනුමැතිය සතියක් තුළ ලබාදීමටත් ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    මැණික් අපනයනකරුවන් වෙත නව අයවැයෙන් පනවා ඇති 14‍ක නව බදු මුදල පිළිබඳ කළ ඉල්ලීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ඊළඟ කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්නා බව ප‍්‍රකාශ කළේය.

    යාන්ත‍්‍රිකව පතල් කැණිම් සඳහා තෝරාගත් ස්ථානවලට අවසර ලබාදීමේ ක‍්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

    බැකෝ යන්ත‍්‍ර යොදා මැණික් පතල් කැණීම සීමා කිරීමට, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කරන ස්ථානවලට පමණක් මෙම යන්ත‍්‍ර යෙදවීමට අවසර ලබාදීමටත්, එහි අධීක්ෂණය මැණික් සංස්ථාව මගින් සිදු කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    එමෙන්ම තම සංගමය විසින් පසුගියදා භාර දෙන ලද යෝජනාවලියේ කරුණු ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද මෙහිදී නියෝජිතයින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර, එම යෝජනාවලියට අදාළව දැනට ක්‍රියාත්මක කර ඇති කරුණු සහ ක්‍රියාත්මක කළ නොහැකි කරුණු පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත තමා වෙත භාරදෙන ලෙස ජනාධිපතිතුමා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පරිසර සංරක්ෂණය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කිරීම මැණික් කර්මාන්තරුවන්ගේ වගකිම බවයි.

    පසුගියදා දිස්ත්‍රික්ක ගණනාවකට බලපෑ ගංවතුර තත්ත්වයට එක් හේතුවක් වූයේ පතල් කැණීම් සහ එම ප‍්‍රදේශ සංරක්ෂණය නොකිරීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අදාළ දිස්ත්‍රික්ක තුළ ඩෙංගු රෝගය සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමට ද අනවසර පතල් කැණීම් එක් හේතුවක් වී ඇති බව කියා සිටියේය.

    මැණික් කර්මාන්තයේ කටයුතු කරන සියලු දෙනාගේ උන්නතිය වෙනුවෙන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා රටට විදේශ විනිමය උපයාදීමට ඔවුන් ඉටුකරන මෙහෙය ද ඇගයීමට ලක් කලේය. මැණික් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව මෙහිදී මෙම ව්‍යාපාරිකයෝ අදහස් සහ යෝජනා රැසක් ඉදිරිපත් කළහ.

    අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරල, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඩී.එම්.ඩී. ඕ.කේ. දිසානායක යන මහත්වරුන් ද මැණික් කර්මාන්තකරුවන්ගේ හා ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ හා පතල්කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.