October, 10, 2019
මාසිකව ඉන්ධන මිල තීරණය කිරීමේ මිල සූත්‍ර ක්‍රමවේදයට අනුව අද (10) දින මෙරට අලෙවි කෙරෙන ඉන්ධනවල නවතම මිල ගණන් තීරණය කිරීමට නියමිතය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් එක් එක් ඉන්ධන වර්ගයන් හි සංශෝධිත මිල ගණන් අද (10) පස්වරුවේ දී ප්‍රකාශයට පත් කරනු ඇත.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල හැසිරීම අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබූව ද පසුගිය මාස කිහිපය දෙස අවධානය යොමු කිරීමේ දී මෙම සංරචක දෙක අතර සහසම්බන්ධතාවක් හඳුනාගත නොහැකි අවස්ථා කිහිපයක්ම දැකිය හැකි විය.
කෙසේ වෙතත් මේ වන විට රටේ ප්‍රධානතම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවේ දී ඉන්ධන මිල සූත්‍රය හරහා දේශපාලනික වශයෙන් යම් වාසියක් අත්පත් කර ගැනීමට පාලක පක්ෂය කටයුතු කිරීම වැළැක්විය හැකි කරුණක් නොවේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන දෛනික ජාත්‍යන්තර ඉන්ධන මිල සටහනට අනුව ඊයේ (09) දිනයේ දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල වාර්තා වූයේ ඩොලර් 58.11 ක් ලෙසිනි. මෙය 2019 සැප්තැම්බර් 09 දින සටහන් වූ ඩොලර් 61.88ට වඩා පහළ අගයයක් වේ.
කෙසේ නමුත් සිංගප්පූරු වෙළෙඳපොළේ පිරිපහදු කරන ලද පෙට්‍රල් බැරලයක් පසුගිය මාසයේ දී ඩොලර් 66.50 ක්වූ අතර අද වන විට එය ඩොලර් 69.20 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවද ඩීසල් බැරලයක මිල මේ වන විට ඩොලර් 73.66 ක් ලෙසත් භූමිතෙල් බැරලයක මිල ඩොලර් 75.01 ක් ලෙසත් වාර්තා වේ. මෙය පසුගිය සැප්තැම්බර් 09 දින වාර්තා වූ පිළිවෙලින් ඩොලර් 73.63 හා ඩොලර් 75.42 හා සැසඳීමේ දී වෙනසක් නොවූ තරම්ය.
මේ අනුව ජාත්‍යන්තර මිල ගණන් අනුව අද(10) දිනයේ දී ඉන්ධන මිල ගණන්වල සුවිශේෂී විචලනයක් සිදුවෙතැයි බලාපොරොත්තු විය හැකි නොවේ.
එහෙත් ලඟ එන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පෙට්‍රල්, ඩීසල් මිල ගණන් හි සුවිශේෂී පහළ යාමක් අද දින සිදුවුවහොත් ඒ ගැන පුදුම විය යුතුද නොවේ.
Video Story