මැයි මස උද්ධමනය පහළට

    June, 22, 2017

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ සියයට 8.4 හි සිට 2017 මැයි මාසයේ දී සියයට 7.1 දක්වා පහළ ගොස් ඇත.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසක ඉහළ යෑමක් පැවතියද පදනම් බලපෑම මෙම පහළ යෑමට ප්‍රධාන වශයේන හේතුවිය. 2017 මැයි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.0 හි සිට 2017 මැයි මාසයේ දී සියයට 6.1 දක්වා ඉහළ ගියේය.

    ‍මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 අප්‍රේල් මාසයේ වාර්තා වූ දර්ශක අංක 121.0 සිට 2017 මැයි මාසයේ දී දර්ශක අංග 121.8 දක්වා ඉහළ ගියේය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් ඉහළ යෑම, මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවිය. ආහාර කාණ්ඩය තුළ එළවළු, රතුළූණු, මාළු, සහල් සහ පොල් මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන (නඩත්තු උපකරණ), ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන (ටයර්, ටියුබ්, අමතර කොටස් සහ ලිහිසි තෙල්) සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයන් හි ඇතුළත් අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආපනශාලා සහ හෝටල්, උපකාණ්ඩයන්හි මිල ගණන් ද සුළු වශයෙන් ඉහළ ගියේය. මධ්‍යසාර පාන හා දුම්කොළ උපකාණ්ඩයෙහි ඇතුළත් ඇතැම් අයිතමවල මිල ගණන් 2017 මැයි මාසය තුළ දී පහළ ගියේය. මේ අතර සන්නිවේදන සහ විනෝදාත්මක හා සංස්කෘතික උපකාණ්ඩයන් හි මිල ගණන් මාසය තුළ දී නොවෙනස්ව පැවතිණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 5.9 හි සිට 2017 මැයි මාසයේ දී සියයට 4.7 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගියේය. මෙම පහළ යෑමට සාපේක්ෂව අඩු මාසික ඉහළ යෑම සහ පදනම් බලපෑම හේතුවිය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.6 හි සිට 2017 මැයි මාසයේ දී සියයට 6.4 දක්වා පහළ ගියේය.

     

    press_20170621e12