මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි

    August, 21, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන East West Properties PLC සමාගම, සිය අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd හි තමන් සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ලියවිල්ලකට අත්සන් තැබූ බව පසුගිය 2018 මාර්තු මාසයේ දී නිවේදනය කර සිටියේය.

    පසුගිය සතියේ දී මේ සම්බන්ධයෙන් යළි නිවේදනයක් නිකුත් කරමින් East West Properties PLC කියා සිටියේ මෙහිදී Weligama Hotel Properties Ltd මිල දී ගැනීමට එකඟ වී ඇති පාර්ශවය වන සිංගප්පූරුවේ HPL Hotels & Resorts Pte. Ltd. සමාගම Weligama Hotel Properties Ltd සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වයම ඉල්ලා සිටින බවයි.

    කෙසේ වෙතත් සිංගප්පූරුවේ HPL Hotels & Resorts Pte. Ltd. සමාගම සමඟ මෙලෙස එකඟතාවයකට එළඹීමට East West Properties PLC කටයුතු කර ඇත්තේ Weligama Hotel Properties Ltd හි 72% ක සිය කොටස් අයිතිය විකුණා දැමීම වෙනුවෙනි.

    මේ අනුව Weligama Hotel Properties Ltd හි ඉතිරි කොටස් සම්බන්ධයෙන් ද කටයුතු කරමින් සිටින East West Properties PLC වැඩිදුරටත් පැවසුවේ Weligama Hotel Properties Ltd කොටස් අයිතියෙන් 11.11% ක් සේවක අර්ථසාධක අරමුදල (EPF) සතුව ඇති බවත්, ඔවුන් ඒ පිළිබඳ පුළුල් තක්සේරුවකින් අනතුරුව අදාළ කොටස් සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කර ඇති නිසා අදාළ ගනුදෙනුව ප්‍රමාද වී ඇති බවයි.

    East West Properties PLC අදාළ සාංගමික නිවේදනය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.

    “වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ මව් සමාගම වන ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොල වෙත ඉදිරිපත් කරන ලද සාංගමික හෙළිදරව් කිරීමක් සහ ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පලවූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබේ.“

    “වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ කොටස්, එච්පීඑල් ප්‍රොපර්ටීස් ගෲප් ආයතනය වෙත විකිණීමට අදහස් කරන බව 2018 ජූනි මාසයේදී වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සභාපති විසින්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත. ඉන් පසුව, මේ සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම සමඟ සාකච්ඡා ගණනාවක් සිදුකරන ලදී. ඒ අනුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සිදුකර ඇති කොටස් ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර තක්සේරු ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතී.“

    “සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභයක් ලබා දීම සඳහා එකී ආයෝජනයෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අරමුදලට ලැබීම සහතික කරනු පිණිස, වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් හි සිදුකර ඇති ආයෝජනයෙන් ඉවත් වීමට පෙර, එහි වටිනාකම තීරණය කිරීම සඳහා පුළුල් අධ්‍යයනයකින් ලබාගන්නා තක්සේරුවක් අත්‍යවශ්‍ය වේ. එබැවින්, සේවක අර්ථසාධක අරමුදල මෙම ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.“