‘මැලිබන්’ මෙවර SLIM KANTAR People’s Awards හි දී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බිස්කට් සන්නාමය ලෙස සම්මාන දිනයි

    April, 17, 2023

    වසර 70කට ආසන්න කාලයක් තිස්සේ සිය විශිෂ්ටත්වය හා ගුණාත්මකභාවය රැක ගනිමින්, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බිස්කට් සන්නාමය බවට පත් වී සිටින  'මැලිබන්' මෙවර  SLIM KANTAR People's Awards හි දී  'FMCG Brand of the Year 2023' සම්මානයෙන් පිදුම් ලැබීය.

    SLIM Kantar People’s Award යනු මහජනතාවගේ ඡන්දයෙන් තෝරාගන්නා  ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාම ඇගයීමට ලක් කරන කීර්තිමත් මෙන් ම විශ්වසනීය සම්මාන උළෙලකි. 'මැලිබන්' මෙම සම්මානය දිනා ගැනීම මෙතරම් වැදගත් වන්නේ එමගින් සිය පාරිභෝගික ජනතාව සමඟ ගොඩනඟාගෙන ඇති බැඳීම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සන්නාමයේ කැපවීම පිළිබිඹු වන හෙයිණි. ස්වාධීනව සහ විනිවිදභාවයකින් යුතුව ජයග්‍රාහකයින් තෝරා ගන්නා මෙම සම්මානය යම් සන්නාමයක සැබෑ ජනප්‍රියත්වය සහ වෙළෙඳපොළ කොටස පිළිබඳව මැන බැලීම සඳහා යොදා ගත හැකි විශිෂ්ට මිනුම්දණ්ඩකි.  එබැවින්, SLIM Kantar ජනතා සම්මානය දිනා ගැනීම 'මැලිබන්' සන්නාමයේ සුවිශේෂත්වය, ගුණාත්මක භාවය සහ ජනප්‍රියත්වය සඳහා හොඳ ම සාක්ෂියක් වන අතර, එමගින් විශිෂ්ට පාරිභෝගික සේවාව හා පාරිභෝගික තෘප්තිමත් භාවය ද පිළිබිඹු කරයි.

    පරම්පරා ගණනාවක් තිස්සේ බිස්කට් සඳහා ම සුවිශේෂී වූ ගෘහස්ථ සන්නාමයක් බවට පත් වී ඇති 'මැලිබන්' ආහාර සුරක්ෂිතතා කළමනාකරණය වෙනුවෙන්  ISO 22000 ප්‍රමිති සහතිකය ලබා ඇති ශ්‍රී ලාංකික ආහාර නිෂ්පාදනායතන  කිහිපය අතරින් එකකි. එමෙන් ම 'මැලිබන්'  Super-Brand තත්ත්වයෙන් පිදුම් ලැබූ මෙරට ප්‍රථම බිස්කට් නිෂ්පාදකයා වන අතර, එම සන්නාමය ගුණාත්මකභාවය හා කළමනාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් තවත් ජාත්‍යන්තර හා දේශීය සම්මාන රාශියක් දිනා ඇත.

    මැලිබන් බිස්කට් ලොව පුරා මහාද්වීප 5 ක රටවල් 40 කට අධික සංඛ්‍යාවක පරිභෝජනය කෙරෙන  අතර, ශ්‍රී ලංකාවේ බිස්කට් සහ කෙටි ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයකි. 'මැලිබන්' සිය ගුණාත්මකභාවය සහ තිරසාරත්වය වෙනුවෙන් සිය කැපවීම වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (Sri Lanka Climate Fund) මගින්   ISO 14064-1:2018 ප්‍රමිතියට සමගාමීව  කාබන් පියසටහන් සහතිකය ලබා ගත් ප්‍රථම  බිස්කට් නිෂ්පාදකයා බවට පත් විය.

    වසර 70ක් පුරා සිය කැපවීම තුළින් ශ්‍රී ලංකාවේ විශාලතම බිස්කට් හා රසකැවිලි නිෂ්පාදකයා සහ අපනයනකරුවා ලෙස වර්ධනය වී ඇති 'මැලිබන්' ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා සහ කළමනාකරණ ප්‍රමිතීන්ට මෙන් ම එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, යුරෝපානු සංගමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල අනුගමනය කරන ලොව දැඩි ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්ට අනුගත වෙමින් ලොව පුරා පාරිභෝගිකයින්ගේ විශ්වාසය දිනා ඇති  සන්නාමයක් බවට පත් වී ඇති බව පැවසිය යුතු ම ය.