මිලේනියම් හවුසින් Heights Edmonton Road ව්‍යාපෘතිය නිමයි

    October, 6, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම නගරබද මහල් නිවාස ව්‍යාපෘති සමාගමක්වන මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගම, සිය ප්‍රථම උස් මහල් නිවාස සංකීර්ණයවන 'The Heights Edmonton' ව්‍යාපෘතිය සාර්ථකව නිමා කළේය.

    "මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම අගයක් සහ වටිනාකමක් ලබා දීම වෙනුවෙන් කැපවන අප ඉදිරියේදී 'සිරස් නිවාස' සංකල්පය යටතේ තවත් ව්‍යාපෘති පහක් මෙරට ජනතාවට දායාද කිරීමට බලාපොරොත්තු වනවා" යනුවෙන් මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සභාපති හර්ෂිත් ධර්මදාස මහතා සඳහන් කළේය.

    ඉඩම් අලෙවියෙන් මෙන්ම නිවාස සහ මහල් නිවාස අලෙවියෙන් ද තමන් ලද ආදායම ක්‍රමෝපායික වශයෙන් භාවිතා කිරීම මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට බෙහෙවින් බලපෑ බව ඒ මහතා පැවසුවේය. "ඉදිරියේදී අප කුලී ආදායම් සහ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානවල කාර්යාල පරිශ්‍ර අලෙවිය වැනි නව ආදායම් ක්‍රම අපගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතුවලට එකතු කර ගැනීමට බලාපොරොත්තු වනවා. අධ්‍යක්ෂ මණ්ඩල කාමර/රැස්වීම් කාමර පහසුකම් මෙන්ම කාර්යාල මෙවලම් සහ උපකරණ කුලී පදනම මත ලබා දීම වැනි සේවා පිරිනැමීමට අප සැලසුම්කර තිබෙනවා" යනුවෙන් ධර්මදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    'The Heights Edmonton' ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත, මිලේනියම් හවුසින් සමාගම, මහල් නිවාස 64කින් සමන්විත 'The Heights Colombo 5' ව්‍යාපෘතිය සැප්තැම්බර් මස පළමුවනදා සිට ආරම්භ කරන බවත්, එහි නිවාස අතරින් 75%ක ප්‍රමාණයක් මේවන විට ද අලෙවි වී ඇති බවත් පවසයි.

    'The Heights Colombo 5' ව්‍යාපෘතිය මගින් නිවාස හිමියන් හට උපරිම සුවපහසුවත්, විනෝද සහ ක්‍රීඩා පහසුකම් ද ලබා දෙයි. රථ වාහන නතර කිරීම සඳහා මහල් හතරක් ද, නිවාස සඳහා මහල් එකොළහක් ද මෙම මහල් නිවාස සංකීර්ණය සතුවන අතර, වහල පිහිනුම් තටාකයක්, ඇවිදින මංතීරුවක්, බාබකියු සහ විනෝද කටයුතු සඳහා වෙනම පරිශ්‍ර ආදිය ද නිවාස හිමියන් හට අසමසම ජීවන අත්දැකීමක් ලබා දෙයි. මීට අමතරව, පොදු ස්ථාන සූර්ය බලශක්තියෙන් බලගන්වා තිබීම ද මෙහි ඇති විශේෂත්වයකි.

    කොළඹ නගරයේ පිහිටි රෝහල්, සුපිරි වෙළඳ සැල් සහ පාසල් ආදී වැදගත් ස්ථාන රැසකට පහසුවෙන් ළඟා විය හැකි ලෙස මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කර ඇත.

    දේශීය දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිය හිමිකාරීත්වය තවදුරටත් තහවුරු කරමින් මිලේනියම් හවුසින් සමාගම පළමු කාර්තුවේ වාර්තාගත ආදායමක් හිමිකර ගැනීමට සමත් විය. 2017 වසරේ ජුනි මස 30වනදායින් අවසන් වූ පළමු කාර්තුව තුළ එම සමාගම, රුපියල් මිලියන 965ක ආදායමක් ද, රුපියල් මිලියන 120ක බදු පසු ලාභයක් ද හිමිකර ගැනීමට සමත් විය. එය පසුගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී, ඉහළ මට්ටමින් රුපියල් මිලියන 724ක සහ ලාභය රුපියල් මිලියන 100ක වර්ධනයකි.