මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන රජයේ මතය මෙන්න

    June, 7, 2014

    රජයේ කැබිනට් අමාත්‍යවරුන් විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථික ඝාතකයෙකු යැයි චෝදනා කරද්දී ඔහුගේ අධීක්ෂණයෙන් සකස් කළ වාර්තා පාර්ලිමේන්තුවට තවමත් ඉදිරිපත් කරමින් සිටින හෙයින් ඔහු පිළිබඳව රජයේ මතය ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

    මේ සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පිළිතුරු ලබාදුන්නේ මෙසේයි.

    “මන්ත්‍රීතුමා!අපේ ව්‍යවස්ථාව යටතේ ලේකම්වරු පත්කරන්නේ ගරු ජනාධිපතිතුමා.  ඒ පත්කරන ලේකම්තුමාගේ හොඳක් හෝ නරකක් තිබෙනවා නම් ඒ පිළිබඳ කරුණු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න ඕන. එතුමාට තීරණයක් ගන්න බලය තිබෙනවා. මා දන්නා තරමින් එතුමා කිසිම තීරණයක් ගෙන නෑ.“

    මෙහිදී ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පිළිබඳව තමන්ගේ මතයද මෙසේ ප්‍රකාශ කළේය.

    “මගේ මතය, එක එක්කෙනා කියන දේවල් අපි පිළිගන්නෙ නෑ.“

    මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථික ඝාතකයෙකු යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා දැඩි චෝදනාවක් සිදුකළ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ එය සරල චෝදනාවක් නොවන බවයි.