මුදල් ඇමති සමඟ ගැටලුවක් නැහැ – මහ බැංකු අධිපති

    March, 4, 2022

    තමන්ට මුදල් අමාත්‍යවරයා සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඉතා සුහදව තමන් මුදල් අමාත්‍යවරයා සමඟ කටයුතු කරනු ලබන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (04) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී, අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර මාස 6 කින් සාකච්ඡාවක් සිදුවී නොමැති බව පසුගිය (02) දා පැවති රැස්වීමක දී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටි අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    කිසිම ගැටලුවක් නැහැ. මම බොහොම සුහදව එතුමාත් එක්ක කටයුතු කරනවා. ඒකේ කිසිම ගැටළුවක් නැහැ.

    ඒ වුණාට අපි ප්‍රතිපත්තිමය ආකාරයේ, අපිටත් තියෙනවා යම්කිසි වගකීමක්. ඒ ප්‍රතිපත්තිමය තීරණ මුදල් අමාත්‍යාංශයට යොමු කිරීමටත්, රජයට යොමු කිරීමටත්.

    ඒ ප්‍රතිපත්තිමය තීරණ යොමු කිරීම. ඒ පිළිබඳව අධ්‍යයනය කරලා රජයට දැනුම් දීම අපේ වගකීමක්.

    ඒ වගකීම මම මුදල් මණ්ඩලයේ සභාපති හැටියටයත්, අධිපති හැටියටත් ඒ වගකීම මම ඉෂ්ට කරනවා.

    ඒ ඉෂ්ට කරද්දී සමහර විට විවිධ අය එය බලාගෙන ඉන්න කොට විවිධ ආකාරයට එය අර්ථකථනය කරන්න පුළුවන්.

    ඒ වගකීම අපි ඉෂ්ට කරනවා කියන එක මම කියන්නට අවශ්‍යයි.