මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

    September, 28, 2016

    2016 සැප්තැම්බර් මාසය සඳහා වන මුදල් ප්‍රතිපත්ති විවරණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) උදෑසන නිවේදනය කරනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයෙහි පහත කරුණු අවධාරණය කර ඇත.

    මුදල් අංශය සැලකූ විට, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් ප්‍රසාරණය පෙර මාසයේ වාර්තා වූ සියයට 17 හා සාපේක්ෂව 2016 ජූලි මාසයේ දී සියයට 17.8 ක ඉහළ අගයක පැවතුණි. මුදල් සමස්තවල ප්‍රසාරණය සඳහා ප්‍රධාන වශයෙන් බැංකු අංශය මගින් පෞද්ගලික අංශය සහ රජය වෙත සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යෑම හේතු වූ අතර, රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් ණය ජූලි මාසය තුළ දී තවදුරයත් පහළ ගියේය.

    වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය සඳහා සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය, පෙර මාසයේ පැවති සියයට 28.2 හා සසඳන විට 2016 ජූලි මාසයේ දී සියයට 28.5 ක් විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් වැඩි වූ වෙළෙඳපොළ පොලී අනුපාතික හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ දී ණය ප්‍රසාරණය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ආර්ථික ක්‍රියාකාරකම්වලට පහසුකම් සලසවමින් සාර්ව ආර්ථික තුලිතතාවයක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන මට්ටමක් දක්වා මුදල් ප්‍රසාරණය සීමා කිරීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් බව 2016 සැප්තැම්බර් 27 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස විය.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය , පිළිවෙලින් සියයට 7 සහ සියයට 8.5 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.