මුදල් මණ්ඩලයේ නව සාමාජිකයින්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

    June, 24, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයින් ලෙස ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඇති වී තිබෙන පුරප්පාඩු දෙක පිරවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යෝජනා කළ නාමයන් පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (24) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

    මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරියක වූ, හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිනි ආචාර්ය රාණි ජයමහ මහත්මියගේ සහ මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන, නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ලිමිටඩ් හි සභාපති සමන්ත කුමාරසිංහ මහතාගේ නාමයන් ජනාධිපතිතුමන් විසින් මෙම පුරප්පාඩු සඳහා යෝජනා කර තිබුණි.

    ඒ අනුව එම තනතුරු සඳහා ඔවුන් දෙදෙනා පත් කිරීමට අනුමැතිය හිමිව ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත පරිදි වේ.

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් (සභාපති)

    භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල (නිල සාමාජික)

    ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන

    ආචාර්ය රාණි ජයමහ

    සමන්ත කුමාරසිංහ