මුදල් මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

    June, 1, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් වූ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය ඊයේ (31) දින සිට බලපැවැත්වෙන පරිදි සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

    මුදල් මණ්ඩලය යළි පිහිටුවීම සඳහා රජය විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙලෙස නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය සිය සාමාජික ධුරයන්ගෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයින් ලෙසින් නිහාල් ෆොන්සේකා මහතා 2016 ජූලි 27 දින ද ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය 2019 ජූලි 29 වන ද පත්වීම් ලැබීය.

    මේ වන විට මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙසින්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් (සභාපති), භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල (නිල සාමාජික) හා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහත්වරුන් කටයුතු කරනු ලබයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වගකිව යුතු ය.

    මහ බැංකු මුදල් මණ්ඩලය සාමාජිකයින් පස් (5) දෙනෙකුගෙන් සමන්විත ය.

     අධිපති

     මුදල් අමාත්‍යාංශයේ ලේකම් (නිල බලයෙන්)

     විධායක නො වන සාමාජිකයින් තිදෙනෙකු (3)

    අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කිරීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. අධිපතිගේ සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින්ගේ නිල කාලය අවුරුදු හය (6) කි. මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සාමාජිකයින් තිදෙනෙකුගෙන් (3) යුතු ගණපූරණයක් තිබිය යුතු ය. මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීම සඳහා සාමාජිකයින් තිදෙනෙකුගේ (3) අනුමැතිය අවශ්‍ය වේ. කෙ සේ වුවත් ඒකමතික තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විටක දී සාමාජිකයින් පස් (5) දෙනාගේ ම අනුමැතිය අනිවාර්ය වේ.